bandarawela-incident

බණ්ඩාරවෙල, බල්ලකෙටුව, නාවලගම ප්‍රදේශයේ නිවසක සිය මුණුපුරාද බලා ගනිමින් ජීවත් වූ වයෝවෘද්ධ අඹු සැමි යුවළක් මුණුපුරා අතින්ම පොරෝ පහරට ලක්ව ඝාතනය වීමේ සෝචනීය පුවතක් පෙරේදා (04 වැනිදා) රාත්‍රියේ වාර්තා විය.

මෙම ඝාතනය ගැන විමර්ශනය කිරීම සඳහා බල්ලකෙටුව පොලිසියට අමතරව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයත්, බුද්ධි අංශත් යොදවා තිබෙන බවත් සැකකාර මුණුපුරා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය.



මෙසේ මරණයට පත්ව ඇත්තේ ආර්. ඩී. එඩ්වින් (80) සහ ආර්. ඩී. ගුණවතී (70) යන අඹුසැමි යුවළය. ඝාතනය සිදුකර ඇත්තේ ඔවුන් විසින් විසි දෙවසරක් පුරා රැක බලා ගත් තම දියණියගේ 22 හැවිරිදි පුතා බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. සැකකාර මුණුපුරාගේ මව වෙනත් විවාහයක් කරගෙන වැල්ලවායේ පදිංචිව සිටී. ඔහුගේ පියාද පවුලෙන් ඉවත් වී වෙනම ජීවත් වෙන පුද්ගලයෙකි. මේ නිසා වසර 22ක් රැකවරණය දී කෑම බීම දී අධ්‍යාපනය ලබාදී මෙම තරුණයා රැක බලාගෙන ඇත්තේ සීයා සහ මිත්තණිය විසිනි.

සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇතත් ඔහු හමුදාවෙන් පලාගොස් ඇති අයකු බව විමර්ශන මගින් හෙළිවී ඇත. දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම සැකකරු නිරන්තරයෙන් අයිස් හා ගංජා පානය කිරීම සඳහා මුදල් ඉල්ලා සීයාට සහ මිත්තණියට වද දී තිබෙන බවද හෙළිවී තිබේ.

පෙරේදා රාත්‍රියේද වූ එවැනිම සිදුවීමකින් සැකකරු සීයා සහ මිත්තණිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. එහිදී ඔවුන් දෙදෙනා හා උරණ වූ සැකකරු සීයාට සහ මිත්තණියට පොරොවකින් කොටා පැනගොස් ඇති බව පොලිසිය පවසයි.



පොරෝ පහරට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ අඹුසැමි යුවළ අසල්වාසීන් මැදිහත්වී පෙරේදා රාත්‍රියේම දෙමෝදර රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී සීයා දෙමෝදර රෝහලේදීම මියගොස් ඇති අතර මිත්තණිය මියගොස් ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය. සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බව පොලිසිය කියයි. පැනගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

නුවන් ආරියවංශ - ඇල්ල