රුපියල් හැටදහසක ජංගම දුරකතනයක් කුරියර් සේවයකින් ගෙන්වා ගෙන ඇති පාසල් සිසුවකු නිවෙසට ලැබුණු එම පාර්සලය විවෘත කර බැලීමේදී වතුර බෝතලයක් සහ පිදුරු තිබුණු බවට පැමිණිල්ලක් කර ඇතැයි රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි. මුහුණු පොත හරහා පළවූ දැන්වීමකින් එම ජංගම දුරකතනය ඉල්ලුම් කර ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවකු නවීන පන්නයේ ජංගම දුරකතනයක් මුහුණු පොත හරහා පළවූ දැන්වීමක් මත ඉල්ලුම් කර ඇත. දුරකතනය රුපියල් හැටදහසක් වන බව ඉල්ලුම්කරුට දන්වනු ලැබිණි. ජංගම දුරකතනය අඩංගු පාර්සලය ගෙනැවිත් ඇති බවට ඉල්ලුම් කරුට පසුව දුරකතන පණිවිඩයක් ලැබී ඇත. දුරකතනය ඉල්ලුම්කරු රත්නපුර රෝහල පාරේ ස්ථානයකට එන ලෙස කුරියර් සේවා ආයතනයෙන් පැමිණි පුද්ගලයා දැනුම් දී ඇත.
මෙම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු ඉල්ලුම්කරුගේ නමට එවා ඇති පාර්සලය ලබාදී ඇති අතර ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් 61,000 ක් බැංකුවේ ක්ෂණික මුදල් ලබා ගැනීමේ යන්ත්‍රය මගින් ලබාගෙන පාර්සලය ගෙන ආ පුද්ගලයාට දී තිබේ. කුරියර් සේවා ආයතනයට අයත් යැයි කියන රිසිට් පතක් ද දී පිටව ගොස් ඇත. ජංගම දුරකතනය අඩංගු පාර්සලය සතුටින් ලබාගත් මෙම සිසුවා එය විවෘත කර බැලීමේදී පාර්සලය තුළ තිබුණේ පිදුරු සහ කුඩා වතුර බෝතලයකි.
මේ සඳහා ලැබුණු කුරියර් සේවා ස්ථානයට අයත් යැයි කියන රිසිට් පත පිළිබඳව විමසීමේදී එහි සත්‍යතාව නොවුණ පිළිබඳව සනාථ බව ද පොලිසිය කියයි. රුපියල් හැටදහස ගෙවීමෙන් පසුව මුලදී පණිවිඩ ලබා දුන් දුරකතනයන් ද ක්‍රියාවිරහිත වී ඇති බව පැමිණිල්ලේ සඳහන් විය. මෙම සිද්ධිය සම්බන්ධව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වී.පී.වික්‍රමසිංහ
0 Comments