රැකියා නැති තරුණයන්ට මෙම වසරේ එළුවන් 70,000ක් නොමිලයේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
ලංකාවේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවන නිසා එළු පාලනය ආශ්රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රට වලින් ආනයනය කරනු ලබයි.
එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබාගත හැකිය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මීට කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරිමට යෝජිත මුදල රුපියල් කෝටි 15 කි.
ඒ අනුව මෙම වසර අවසන් වනවිට එළුවන් 70,000 ක් ලබා දෙන අතරම 2024 වසරේදී එම ප්‍රමාණය තදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.
ජනපාරි, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු වර්ග ගොවීන්ට ලබාදීමට නියමිතය.
රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබාදීම හා එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම මෙන්ම එළු පාලනය ආශ්රිත නිෂ්පාදන නැවත මිලදී ගැනීම සඳහා (BUY BACK) පෞද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිතය.
0 Comments