age-5-boy-incident

මව සහ බාප්පා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් මහමඟ දමායන ලදැයි කියන පස් හැවිරිදි පිරිමි දරුවකු කුට්ටිගල බෝගොල්ආර ප්‍රදේශයේ මාර්ගයක හුදකලාව හඬමින් සිටියදී සොයා ගෙන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට පසුගිය 21 දා ඇතුළත් කළ බව කුට්ටිගල පොලිසිය කියයි. ප්‍රදේශයේ කාන්තාවක් කුට්ටියල පොලිසියට දුරකතනය ඔස්සේ දුන් තොරතුරකට අනුව එම දරුවා සොයා ගැනීමට හැකිවූ බවත් මහ මඟ දමාගොස් සිටි දරුවා සිය මව සහ මවගේ දෙවැනි සැමියා සමඟ ඇඹිලිපිටිය රෝහල අසල නිවසක පදිංචිව සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිසිය දරුවා පදිංචිව සිටි බව කියන නිවස සොයා ගිය නමුත් සැකකාර යුවළ එම නිවස අතහැර ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය  පවසයි.  සැකකාර යුවළ සැකකරුගේ මව සහ සොහොයුරකු සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවත් සැකකරු ඇඹිලිපිටිය රෝහල අසල ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස සේවයේ යෙදෙන්නකු බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම සැකකරුවන් එම දරුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් කුට්ටිගල ප්‍රදේශයට රැගෙනවිත් බෝගොල්ආර අතුරු මාර්ගයේ හුදකලා ස්ථානයකදී දරුවා අතට ඇඳුම් බෑගයක් දී ත්‍රීරෝද රථයෙන් එළියට ඇද දමා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.

තමන් මහමඟට දමා මව සහ බාප්පා පලා යනු දුටු දරුවා හඬමින් ත්‍රීරෝදය පසුපස දිවගොස් ඇති බවට තොරතුරු දැනගන්නට ලැබුණු බවත් එම මවට තවත් දරුවකු සිටින අතර ඇය එම දරුවා රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවත් පොලිසිය කියයි. රැගෙන ගිය දරුවා සැකකාරියගේ දෙවැනි සැමියාගේ විය හැකි බව පොලිසිය සඳහන් කරයි. තම භාරයට ගත් දරුවාගේ ශරීරයේ තුවාල දකින්නට ලැබුණු බවද එම තුවාල තම මව සහ බාප්පා විසින් කෝටුවකින් පහර දීම නිසා ඇති වූ ඒවා බවට දරුවාගේ ප්‍රකාශයෙන් හෙළිවූ බවද පොලිසිය කියයි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සැකකාර යුවළ සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර  ඇත.
රෝහණ සමරවීර