උසස් පෙළ විභාගයේ 2022 (2023) උත්තරපත්‍ර පරීක්ෂා කිරීමට අදාළව විෂයන් දහයක පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද (24දා) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි) යන විෂයන් 06ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව නර්තනය(දේශීය හා භාරත) සහ පෙරදිග සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවද සඳහන් කරයි.



උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ මුලික අදියරේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව,නර්තනය (භාරත), පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංගකලාව හා හින්දි යන විෂයන් 10ට අදාළව පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. මෙම විෂයන්වලට අදාළ උත්තරපත්‍ර පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් සෙසු විෂයන්වලට අදාළ උත්තරපත්‍ර පරීක්ෂණ කටයුතු මේ සතිය තුළදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් කළ විමසිමකදී හෙතෙම පැවසීය.
ඉන්දික හේවාවිතාරණ