al-exam-tamil-answer

අපොස උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු ඊයේ (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව විෂය කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්. සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය,චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

යාපනය, කොළඹ, මඩකළපුව, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මධ්‍යය ඇතුළු අනෙක් විෂයවලට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරිම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වය සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

- අංජුල මහික වීරරත්න