ඉඩමක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමකට එය මිලදී ගන්නා මුවාවෙන්, ඇමෙරිකානු ජාතික හමුදා කාන්තාවක ලෙස වස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන, ඉඩම් හිමි කාන්තාව සූක්ෂම ලෙස රවටා, ඇයගෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වංචා කර, කෝටි දෙකක ඩොලර් නෝට්ටු යැයි පවසා, කළු පැහැති කොළ අඩංගු කළ තහඩු පෙට්ටියක් ඇය වෙත ලබා දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. විදේශීය කාන්තාව එරට සිට එවන ලද ඩොලර් නෝට්ටු බව පවසමින්, කාන්තාව වෙත ලබා දී තිබූ වසා දමන ලද තහඩු පෙට්ටියක් ද පැමිණිලිකාරිය පොලීසිය වෙත බාර දී ඇත.
ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ පිහිටි ඉඩමක් රුපියල් කෝටියක මුදලකට විකිණීමට ඇති බව පවසා, හඳපාන්ගොඩ කිරිගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක ඉකුත් පෙබරවාරි 12 වැනිදා අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීමක් පළ කර තිබූ බව පොලීසිය කියයි. ඉකුත් අප්‍රේල් 7 වැනිදා එම ඉඩම මිලදී ගැනීමට කැමැති බව පවසමින් ඇමෙරිකානු ජාතික කාන්තාවක ලෙස හඳුන්වා දුන් කාන්තාවක කෙටි පණිවිඩ ඔස්සේ පැමිණිලිකාරියට කතා කර ඇති අතර, අනතුරුව විදේශීය කාන්තාව ලබාදුන් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.
විදේශීය කාන්තාවගේ පියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු ද පැමිණිලිකාරිය හා අදහස් හුවමාරු කරගෙන තිබූ අතර, පැමිණිලිකාරියට ඉංග්‍රීසි මාධ්‍ය හැසිරවීම අපහසු බැවින්, වස්ඇප් තාක්ෂණය ඔස්සේ කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කරගෙන තිබිණි. පසුගිය 9 වැනිදා විදේශීය කාන්තාවගේ පියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයා පැමිණිලිකාරිය වෙත කෙටි පණිවිඩයක් එවමින් ඉඩම මිලදී ගැනීම සඳහා කූරියර් සේවාව ඔස්සේ පැමිණිලිකාරියට මුදල් එවන බව පවසා ඇති අතර, ඊට පසු දින ද ‘මුදල් රැගෙන එන තැනැත්තා සම්බන්ධ වුණා ද' යන්න කෙටි පණිවිඩයක් මගින් විමසා ඇතැයි පොලීසිය කියයි.
ඉඩම සඳහා ලබා දීමට තිබෙන මුදල් ගුවන්තොටුපොළේ නිදහස් කරගැනීමට රුපියල්වලින් ගෙවිය යුතු බව පවසමින්, රුපියල් එක් ලක්ෂ දස දහසක මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කරන ලෙසත්, එලෙසම ගුවන්තොටුපොළේ පුද්ගලයකු ලෙස කතා කළ තැනැත්තකු තවත් පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ලබා දී රුපියල් තුන් ලක්ෂ හැත්තෑ අට දහසක්,
තවත් පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ලබා දී හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක් තැන්පත් කරන ලෙසත්, එයින් රුපියල් තුන් ලක්ෂ තිස් දෙදහසක් බැංකුවේ තැන්පත් කරන ලෙසත්, ඉතිරි ලක්ෂයක මුදල මුදල් රැගෙන එන තැනැත්තාට නිවෙසට පැමිණි පසුව ලබා දෙන ලෙසත්, දුරකතනයෙන් පවසා තිබූ බව පොලීසිය කියයි. ඒ අනුව, එදින නව ලක්ෂ විසි දහසක මුදලක් පැමිණිලිකාරිය විසින් වරින් වර ගිණුම්ගත කරනු ලැබූ බව පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අනුව ඉකුත් 11 වැනිදා ප්‍රසිද්ධ කුලී සමාගමකට අයත් සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කළු ජාතිකයකුට සමාන පුද්ගලයකු රතු පැහැති ගමන් බෑගයක් රැගෙන පැමිණිලිකාරියගේ නිවෙසට පැමිණීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දී ඇතැයි පොලීසිය කියයි.
නිවෙසට පැමිණි පුද්ගලයා රැගෙන එන ලද රතු පාට ගමන් බෑගය තුළ වූ තහඩු පෙට්ටියක් පරිගණක මෘදුකාංග ඔස්සේ විවෘත කර පැමිණිලිකාරියට පෙන්වා ඇති අතර, ඒ තුළ කළු පැහැති කොළ බණ්ඩල ගණනාවක් තිබී ඇතැයි පොලීසිය කියයි. එම බණ්ඩලවලින් කොළ දෙකක් පමණක් එම තැනැත්තා විසින් පිටතට ගෙන, ඔහු සතුව තිබූ රසායනික ද්‍රව්‍ය එම කොළ මතට දමා උණුවතුරෙන් සෝදා, දෙවනුව ජෙල් වර්ගයක් වැනි යමක් එම කොළ දෙකට දමා ඇල් වතුරෙන් සෝදා ඇති අතර, පළමු අවස්ථාවේදී ඩොලර් නෝට්ටුව මතු වී ඇති අතර, දෙවැනි අවස්ථාවේදී නෝට්ටුවල සඳහන් සලකුණු ඉර මතු වී ඇත. එම ඩොලර් නෝට්ටු දෙකම ඩොලර් 100ක වටිනාකමින් යුතු ඒවා බවට සඳහන්ව තිබී ඇත. ඉතිරි නෝට්ටු සියල්ලම මෙලෙස සෝදාගත යුතු බැවින්, එම පෙට්ටිය තුළ ඇමෙරිකානු ඩොලර් කෝටි දෙකක වටිනාකමින් යුත් මුදල් ඇති බවත්,
ඒවා පිරිසුදු කර දීමට රුපියල් හැටපන් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත්, එම මුදල් සූදානම් කරගෙන දැනුම් දෙන ලෙස පවසා මුදල් නෝට්ටු අඩංගු තහඩු පෙට්ටිය එම පුද්ගලයා අත තිබූ යතුරෙන් වසා දමා එම පෙට්ටිය පැමිණිලිකාරිය අතට ලබා දී පිටව ගොස් තිබූ බව පොලීසිය කියයි.
පසු දින පැමිණිලිකාරියගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එවමින් තමන් කොළඹ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත්, එහි බිල වශයෙන් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට ඇති බවත්, එම මුදල ගිණුම්ගත කරන ලෙසත්, අනතුරුව පැමිණ ඩොලර් නෝට්ටු පිළිවෙළ කර දී ඉඩමේ ගනුදෙනුව අවසන් කරන බවත් පවසා ඇති අතර, ඒ පිළිබඳ ඇති වූ සැකයක් මත පැමිණිල්ල සිදු කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. පැමිණිලිකාරියගේ නිවෙසට පැමිණි නාඳුනන පුද්ගලයා ලබා දුන් තහඩු පෙට්ටිය ඉංගිරිය පොලීසියේ නිලධාරීන් පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව විවෘත කර පරීක්ෂා කිරීමේදී කළු ඩිමයි කොළ බණ්ඩල විස්සක්, පුළුන් මත පවුඩර් දමා එහි තැන්පත් කර තිබී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments