apple-farm-job-doctor-arrested

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන් රවටා මුදල් රැස් කළ පුද්ගලයකු බොරැල්ල පොලිසිය විසින් ඊයේ (05 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහලේ වෛද්‍යවරයකු නොවන මෙම සැකකරු වෛද්‍යවරුන්ගේ නිල ඇඳුම හා සමාන ඇඳුමක් ඇඟලාගෙන වෙද නළාව ද, කරේ එල්ලාගෙන රෝහලට පැමිණෙන විවිධ පුද්ගලයන් රවටා මුදල් වංචා කරන බව මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් මරදාන පොලිසියටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනකු ද පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. වෛද්‍යවරයකු සේ පෙනී සිටි පුද්ගලයකු තමා ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තට වැඩට යවන බව කියමින් රුපියල් හැටපන්දහසක මුදලක් වංචා කර තිබෙන බවට මරදාන ප්‍රදේශයේ පුද්ගලයකු පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි. ඒ බව පවසා කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන්ද රුපියල් පනස්පන්දහසක මුදලක් එම පුද්ගලයා ඉල්ලාගෙන ඇතැයි පොලිසිය පැවසීය.



තමාගේ ඇපල් වතු දෙකේ සේවය සඳහා දුප්පත් දෙදෙනකුට අවස්ථාව දෙන බවත් ඊට රුපියල් ලක්ෂ ගණන් අය නොකරන නමුත්, ලේඛන ගාස්තු පමණක් ලබාදෙන්නැයි පවසා පෙර කී පුද්ගලයන් දෙදෙනාගෙන් සැකකරු මුදල් ලබාගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කීවේය. බොරැල්ල පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක විතානගේ ඇතුළු පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එෆ්. අස්ලම්