badulla-students-death

බදුල්ල ධර්මදූත විද්‍යාලය හා ඌව මහා විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් ගැටුම කා අතරත් ප්‍රසිද්ධව ඇත්තේ ඌව මහා සංග්‍රාමය ලෙසිනි. බදුල්ලේ පැරැණිම පාසල් දෙක වන මේ විද්‍යාල අතර මෙවර ක්‍රිකට් තරගය පැවැත්වුනේ 74 වැනි වරටය. කොවිඩ් වසංගතය නිසාත්, රටේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසාත් 2019 වසරෙන් පසුව නොපැවැත්වුණු මේ තරගය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුණි. විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරු, ගුරුවරුන්, සිසුන්, ආදි සිසුන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් පසුගිය සිකුරාදා හා සෙනසුරාදා (31/01) දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

ලස්සන දවසක් අඳුරු වන්නට ගියේ එක තප්පරයකි.පෙරේදා (01) මුහුණු පොතේ විශාල වශයෙන් සංසරණය වූ පෝස්ටුවක් වී තිබුණේ අවාසනාවන්ත සිදුවීමකි. ඒ ධර්මදූත විද්‍යාලයේ සිසුන් හා ආදි සිසුන් සංවිධානය කළ රථ පෙළපාළියක ගමන් කළ කැබ් රථයක් පෙරළී යාමෙන් එම විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යාමත් සමගය.



තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (01 වැනිදා) උදෑසන බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලට පැමිණි ධර්මදූත විද්‍යාලීය ආදි සිසුන් පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් ද සම්බන්ධ කරගනිමින් වාහන සියයකට වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් රිය පෙළපාළියක් සංවිධානය කර තිබූ අතර යතුරුපැදි සන්දර්ශනවලින්ද එය අලංකාර වී තිබුණි. නගරවාසීන් බොහෝ දෙනෙකු මේ රථ පෙළපාළිය මග දෙපසට වී බලා සිටියත් ඇතැම් වාහන ගමන් ගත් ආකාරය බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක්වූහ.ඒ පොල් පැටෙව්වාක් මෙන් සිසුන් පටවාගෙන අනාරක්ෂිත අන්දමින් රිය පැදවීම නිසාය. .

මේ විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරුන්ට බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක උපදෙස් දී තිබුණේ සාමකාමී අන්දමින් තරගය පවත්වන ලෙසය. එමෙන්ම කිසිදු රථ පෙළපාළියක් සංවිධානය නොකරන ලෙසය. විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් ඊට එකඟ වූ අතර තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් සලසා තිබුණේය.

බදුල්ල ධර්මදූත විදුහලේ ආදි සිසුන් පිරිසක් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (01) උදෑසන ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල සිට බදුල්ල නගරය පුරා රථ පෙළපාළියක් සංවිධානය කර තිබුණේ එම උපදෙස්ද නොතකමිනි . එය වැළැක්වීමට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හෝ විද්‍යාලීය පාලනාධිකාරියට හැකියාවක් තිබුණේ නැත. එම විද්‍යාලයේ සිසුන් හා ආදි සිසුන් සිය වාහනවල ධර්මදූත විද්‍යාලීය ධජය ප්‍රදර්ශනය කරමින් එම ධජයේ වර්ණවලින් මුහුණු පාට කර ගනිමින් බදුල්ල නගරය පුරාම රථ පෙළපාළියෙන් ගමන් කරන්නට වූහ. අවස්ථා දෙකකදී බදුල්ල පොලිසිය රථ පෙළපාළිය නවතා හරවා යැවීමට කටයුතු කළත් වාහන විස්සක් පමණ බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිටුපසින් ඇති බදුලු පිටිය මාර්ගය ඔස්සේ පැමිණ දැනට ගොඩ කර ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කර ඇති බදුල්ලේ පැරැණි කුණු කන්දට ඇතුළු කළේ හෝන් හා නළා හඬ මධ්‍යයේය. මේ නිසා එකී ක්‍රීඩාංගණය දූවිලිවලින් මුළුමනින්ම වැසී ගොස් තිබුණි.



එසේ ගමන් කළ රථ පෙළ අතරේ සුදු පැහැ බොලේරෝ වර්ගයේ කැබ් රථයක වහලයේත් පිටුපසත් සිසුන් විස්සකට වැඩි පිරිසක් සිටියහ. එම වාහනය පැදවූයේද ධර්මදූත විද්‍යාලයේ උසස් පෙළ හදාරණ සිසුවෙකි. කැබ් රිය අධික වේගය නිසා පාලනයෙන් තොරව පෙරළී ගියේ කවුරුත් නොසිතූ ලෙසටය. කඩිනමින් එම ස්ථානයට දිව ගිය ආදි සිසුන් හා අනෙක් සිසුන් පෙරළුණු රථයට යටවී සිටි සිසුන් මෙන්ම තුවාල වී ඈතට විසිව සිටි සිසුන් බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්හ. ඒ පෙරේදා පෙරවරු 11.40 ට පමණය.

අනතුරට ලක්වූ මෙම රථය අනාරක්ෂිත අන්දමින් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අසල ඔරලෝසු කණුව වටා පදවන ආකාරයද නිරීක්ෂණය වී ඇති අතර අනතුර සිදුවූ ස්ථානයට විනාඩි පහකට පෙර පැරැණි කසළ කන්දට පිවිසෙන ස්ථානයේදි රථය නැවතීමටද ලක්ව ඇත. පසුව එහි සිටි සිසුන් හත් අට දෙනෙකු රථයෙන් බැස රථය තල්ලුකර පණ ගන්වා අනතුර සිදුවූ ස්ථානයට ගමන් කර ඇත.

තුවාල ලැබූ සිසුන් අට දෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ගෙන ආ බවත් ඒ අතරින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද කිවේය.

එක් අයෙක් රෝහලට ගේන්න කලින් මැරුණා. අනික් කෙනා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරපු වෙලාවේ අපි පැය එකහමාරක් විතර උත්සහා කළා බේරගන්න. ඒ උත්සහාය අපතේ ගියා. මේ රථ පෙළපාළියට විරුද්ධ වූ ගුරුවරුන්ට පවා තර්ජනය කරලා තමයි මෙහෙම හැසිරිලා තියෙන්නේ.මේ විදිහට මිය ගිය එක සිසුවෙක් තාත්තා ගිහින් ඇරලපු ටියුෂන් පන්තියත් කට් කරලා රෝඩ් ෂෝ එකට ආපු ළමයෙක්. අපි අවුරුදු 04 ක ඉඳලා කියනවා මේ රෝඩ් ෂෝවලට කිසිම ඉඩක් දෙන්න එපා කියලා. හරක් වගේ පාරවල්වල වාහන ධාවනය කරන්නේ. මේ අනතුරට ලක්වුණ රථය ධාවනය කළේත් පාසල් සිසුවෙක්. මේ විදිහේ අනතුරුවලට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් පණවන්න ඕනෑ යැයි වෛද්‍යවරයා කීවේය.

මෙම අනතුරින් සිසුන් අට දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කළත් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ අනෙක් සිසුන් හය දෙනාද මේ වනවිටත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර කැබ් රථය පැදවූ සිසුවාගේද පාදයේ අස්ථි කොටස් බිඳී ඇත.

මෙම අනතුරින් මියගොස් තිබුණේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ වාණිජ අංශයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බදුල්ල හෑගොඩ රඹුක්රාව ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. රවිඳු දුලක්ෂණ සහ පස්සර මීදුම්පිටිය ප්‍රදේශයේ පදිංචි හරීන්ද්‍ර රුක්මාල් ද සිල්වා නමැති සිසුන් දෙදෙනෙකි. හරින්ද්‍ර රුක්මාල් හාලිඇල නව නිවාස සංකීර්ණයේද තාවකාලික පදිංචිකරුවෙකි.

මේ අනතුර සම්බන්ධයෙන් බදුල්ල ඌව මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයත් බදුල්ල ධර්මදූත විද්‍යාලයත් මාධ්‍ය හමුවේ සඳහන් කළේ තම සංගම්වල අනුමැතියකින් තොරව ආදි සිසුන් පිරිසක් හිතුමතේට මෙය සංවිධානය කර තිබූ බවය.

බදුල්ල ඌව මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙසේද කීවේය.



අපි ක්‍රීඩා සමාජ දෙකම ඒකමතික තීරණයක් ගත්තා කිසිම ආකාරයෙන් රෝඩ් ෂෝ එකක් කරන්නේ නැහැ කියලා. හිතුමතේට ආදි සිසුන් පිරිසක් තමයි මේ රෝඩ් ෂෝ එක කරල තියෙන්නේ. මේකට විද්‍යාල දෙකේ ආදි ශිෂ්‍ය සංගම වල වගේම විද්‍යාල දෙකේම පාලනාධිකාරිවලින් කිසිම අවසරයක් දීලා නැහැ. එසේ තිබියදී මේ දේ කරල තියෙන්නේ. මෙය ඉතාමත් කනගාටුදායක සිද්ධියක්. මෙය නොමනා ක්‍රියාව කරපු අය මේකෙ වගකීම භාර ගත යුතුයි.

මේ අතර බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙසේ පැවැසීය.

මේ අනතුර ගැන ගොඩක් කනගාටුයි. මේ වගේ තරගවලදී සංවිධානාත්මකව කටයුතු කරන්න ඕනෑ. ඉදිරියේදී මෙවන් දේවල් නොවීමට අදාළ බලධාරීන් වගබලා ගත යුතුයි.

කෙසේ වෙතත් බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ලගේ ඍජු අධීක්ෂණය යටතේ බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අනතුරට ලක්වූ රථය පැදවූ සිසුවා රියදුරු බලපතක් ඇති අයෙකු බවත් ඔහු පාදයේ අස්ථි බිදී යාමකට ලක්ව බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බදුල්ල පොලිසිය පවසයි. ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව බදුල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

මේ අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ බදුල්ල මහ රෝහලට පැමිණ මෘත දේහ පරික්ෂා කළ අතර සිද්ධියවූ ස්ථානයද පරික්ෂා කරමින් මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවත්වීය.

මෘත දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා සිදුකර වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන්පසු මෘත දේහයන් ප‍වුලේ ඥාතීන්ට භාර දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බදුල්ල පොලිසියට නියෝග කළේය .

මේ අතර මෙම අනතුරට ලක්වූ රථයේ ගමන් කර තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් වූ සිසුන් දෙදෙනෙකු බොරු නම් රෝහලට ඉදිරිපත් කර රෝහලෙන් පැනගොස් ඇතැයිද පොලිස් විමර්ශන මගින් හෙළි වී ඇත.

කෙසේ වෙතත් රටම කම්පාවට පත්කරමින් මෝඩයාගේ දවස යැයි කියනා අප්‍රේල් 01 වැනිදා සිදුවූ මේ අනතුර නිසාම විද්‍යාල දෙක අතර පැවති ක්‍රිකට් තරගයද ජය පරාජයෙන් තොරව අතරමග නවතා දැමීමට තීරණය කර තිබිණි. මේ අනුව පළමු ඉනිම ජයග්‍රහාණය කළ බදුල්ල ඌව මහා විද්‍යාලයට කුසලානය හිමිවිය

එෆ්.අස්ලම්
නුවන් ආරියවංශ - ඇල්ල
ටී.අශෝක් කුමාර් - හාලිඇල