bakery-eggs-price

සියලුම බේකරිවලට රුපියල් 35 බැගින් ආනයනික සහ දේශීය බිත්තර ලැබෙන්නේ නම්, සිංහල අවුරුද්දට කේක් කිලෝවක් රුපියල් 1,000කට අඩුවෙන් ලබාදීමට හැකි බව සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරිවල ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව කේක් කිලෝවක මිල රුපියල් 1,500 පමණ සිට රුපියල් 1,000ත් 1,200 දක්වා මිල අඩු වී ඇතැයි පවසන හෙතෙම, ආනයනය කළ බිත්තර මේ වනවිටත් ලැබී ඇත්තේ, බේකරි 75කට පමණ වන බවද පැවසීය.

එසේම එය කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, සියලුම බේකරිවලට රුපියල් 35 බැගින් බිත්තර ලැබිය යුතු බවද සභාපතිවරයා පවසා සිටියේය.

ආනයනික බිත්තර  මෙරටට ලැබුණුදා සිට ඒවා වරායෙන් නිදහස් කිරීම  ඇතැම් රාජ්‍ය නිලධාරින් විසින්  හිතාමතාම ප්‍රමාද කරන බවට  වාර්තා වී ඇති බවද පැවසූ ජයවර්ධන මහතා, ආනයනික බිත්තර කලට වෙලාවට බේකරිවලට ලැබුණේ නම්, මේ වනවිටත් කේක් කිලෝවක මිල රුපියල් 1,000කටත් අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව තිබූ බවද සඳහන් කළේය.

මේ අතර සිංහල අවුරුද්ද සඳහා හිඟයකින් තොරව කේක් සැපයීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා, පාරිභෝගිකයාට අඩු  මිලට  කේක් ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අඩුම වශයෙන් මේ වනවිටවත් ආනයනික බිත්තර හෝ දේශීය බිත්තර රුපියල් 35 බැගින් බේකරිවලට ලැබීම අනිවාර්ය බවත්, එසේම කේක් නිෂ්පාදනය සඳහා යොදාගන්නා මාගරින් සඳහා පනවා ඇති අධික බදු ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
 කීර්ති ප්‍රනාන්දු