bandaraduwa-police-officer

විදුලි බිල හා බඩු මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින්, බණ්ඩාරදූව, ගොනාගොල්ල හන්දියේ ඉකුත් 26 වැනිදා පැවැති උද්ඝෝෂණයට වෙස් වළාගෙන ගොස්  නායකත්වය දුන් බව කියන වෙල්ලාවෙලි පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (5) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.



කොස්තාපල්වරයා ශබ්දවිකාශන යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් උද්ඝෝෂණය මෙහෙයවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන හා ඡායාරූප ද උසස් පොලිස් නිලධාරීන්ට ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මූලික විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ කලවංචිකුඩි සහකාර පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න මහතා විසිනි.

වැඩ තහනමට ලක්වූ කොස්තාපල්වරයා පසුගිය වසරේ කොළඹ ගාලුමුවදොර පැවති අරගලයට ද සක්‍රීයව දායක වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය. කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් නිවාඩු දමා ගොස් ගාලු මුවදොර අරගලයට සහභාගී වී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම කොස්තාපල්වරයා පසුගිය 26 වැනිදා සවස රාජකාරි විවේකය අතරවාරයේ පොලිස් පොත්වල පිටවීමේ සටහන් නොයොදා ගොනාගොල්ල හන්දියේ පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

   ඔහු සිවිල් ඇඳුමෙන් සැරසී හඳුනා ගැනීමට නොහැකි වන  ආකාරයට යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුමක් පැළඳගෙන වෙස්වළාගෙන මෙම උද්ඝෝෂණයට සහභාගි වී එය මෙහෙයවා ඇති බවටද පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය