kirulapona-theft-nabbed

තලාහේන ලෝලුවාගොඩ ප්‍රදේශයේ මළ ගෙදරක පැවැති බව කියන මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ (බූරුවා ගැසීම) යෙදී දිනාගෙන පුද්ගලයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක මුදල සහ සුදු කෙළීමට රැගෙන ගිය රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි සිව් දෙනකු විසින් අතරමග රැක සිට පෙරේදා (2) අලුයම් කාලයේ පැහැරගෙන පලා ගොස් ඇතැයි නාල්ල පොලීසිය පවසයි.

මෙම මුදල්වලට අමතරව ගමන් කරමින් සිටි යතුරුපැදිය හා ඔහුගේ ජංගම දුරකතනය ද කොල්ලකා ඇතැයි පොලීසිය කියයි.



රාත්‍රී කාලයේ මළගෙදර තවත් පිරිසක් සමග මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ යෙදී සිට ලක්ෂ දෙකක මුදලක් ජයග්‍රහණය කිරීමෙන් පසුව, සුදු කෙළීමට රැගෙන ගිය රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් ද රැගෙන ඊයේ අලුයම් කාලයේ මොහු නිවෙස බලා යතුරුපැදියෙන් යමින් සිටි අතරවාරයේ පුංචි වත්ත නමැති ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි සිව් දෙනකු යතුරුපැදිය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා අල්ලා, අසල තිබූ පොහොර ගබඩාවකට ඇදගෙන ගොස්, අත් පා ගැට ගසා, ඔහු සතුව තිබූ මෙම මුදල සහ  ජංගම දුරකතනය ද කොල්ලකා, යතුරුපැදිය ද පැහැරගෙන, පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.



මෙම යතුරු පැදිය මොහු උකසට ගෙන තිබූ එකක් බව ද කියති.  මොහු සමග මළගෙදර සූදු පොළේ සූදු කෙළීමේ නිරතව සිටි පිරිස අතරෙහි සිටි හතර දෙනකු මෙම කොල්ලය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. ගම්පහ නාල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් කොල්ලකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය