නිවෙසක සුරතලයට ඇති කළ පොමනේරියන් වර්ගයේ බලු පැටවකුට මිටියකින් පහරදී ඝාතනය කර ඇති බව පැවසෙන පුද්ගලයෙක් එම බල්ලාගේ අයිතිකරුට රුපියල් පනස් දහසක මුදලක් ලබාදී සමථ වූ පුවතක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වේ.



කටුගස්තොට පොලිස් වසමේ හමංගොඩ උතුර ග්‍රාමයේ පදිංචි ආනන්ද නමැත්තාගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ වයස අවුරුද්දක පමණ බලු පැටියා මරා දමා තිබුණේ පසුගිය පෙරවාරි මස 25 වැනිදා රාත්‍රි කාලයේදීය. එදින බලුපැටියා සිටි නිවස අසල පිහිටි වෙනත් නිවසක සාදයක් පවත්වා ඇති අතර එම සාදයට පැමිණි අයෙක් විසින් තම බලු පැටියා මරා දමා ඇති බව බල්ලාගේ හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර ඇත.



පසුව මේ සම්බන්ධව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින් බලු පැටියාගේ පවුලේ අය ලබාදුන් තොරතුරු මත බලු පැටියා ඝාතනය කළ බව පැවසෙන පුද්ගලයා අනාවරණය කර ගෙන ඇත. ‘පැටි’ යන නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා පසුව පොලිසිය වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරු විසින් බලු පැටවා මරා දැමූ බව පිළිගෙන ඇති අතර ඒ අනුව බලුපැටියාගේ හිමිකරුට රුපියල් 50,000 ක මුදලක් ගෙවීමට පොරොන්දු වී තිබේ. එම පොරොන්දුවට අනුව පෙරේදා (05දා) දින කටුගස්තොට පොලිසිය වෙත පැමිණි සැකකරු විසින් බලු පැටවාගේ හිමිකරුට විවිධ පැමිණිලි අංශයේ ප්‍ර.පො.ප. අමරසිංහ ඉදිරියේ රුපියල් 50,000 මුදල ලබාදී ඇත.

එම මුදල සැකකරුගෙන් ලබාගත් බලු පැටියාගේ හිමිකරු හා ඔහුගේ බිරිඳ අප සමග කියා සිටියේ සුරතලයට ඇතිදැඩි කළ බලු පැටවා මියයාම නිසා දුකෙන් ඇගේ පොඩි පුතාද අසනීප වූ බවය. තමන්ට ලැබුණු මුදලින් අදම බලු පැටියෙක් මිලදී ගන්නා බවද ඔවුහු කීහ.

විජේරත්න හල්ඔලුව - හාරිස්පත්තුව