මඩකලපුව ශික්ෂණ රෝහලේදී කළ උදරයේ ගල් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව අධික ලෙස රුධිර වාහනය වීමෙන් 16 හැවිරිදි දැරියක මියගොස් ඇති බව 4 දා පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවිණි යැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.  සැත්කම කළ වෛද්‍යවරයාගේ  නොසැලකිල්ල නිසා අධික ලෙස රුධිරය වහනය වී මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ. ඉලංගෝ  විසිනි.  මෙසේ මිය ගොස් ඇත්තේ පානමුන 11 කොටසේ අබ්දුල් මජීඩ් පාරේ පදිංචි සිටි එම්.එම්. පාතිමා මල්ෂා නමැති දැරියකි. ඇය පාසල් සිසුවියකි.  මෙම දැරියගේ උදරයේ ඇතිවී තිබූ ගල් ඉවත් කිරීම සඳහා පසුගිය මාසයේ 31 වැනිදා මඩකලපුව ශික්ෂණ රෝහලේදී සැත්කමකට ලක්කර ඇති අතර ඇය එම  රෝහලේම තවදුරටත් ප්‍රතිකාර ලබමින්  සිටි බව පොලිසිය කියයි.



දැරිය නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය පළමුවැනිදා මියගොස්  ඇත. දැරියගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කර ලබාගත් නියෝගයක් අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා සිදුකළ බව පොලිසිය කියයි.  දැරියට සැත්කම සිදුකළ බව කියන වෛද්‍යවරයා  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා කීය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය