පසුගියදා අභිරහසක් ඉතිරි කරමින් පේරාදෙණිය මුරුතලාව ප්රදේශයේදී මරණයට පත්වූ 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර
නමැති පෙර පාසල් ගුරුවරිය කිසියම් අයෙකු ඝාතනය කර තිබුනේද යන්න ගැන සිදුවන විමර්ශන අනුව දැන් තොරතුරු කිහිපයක් හෙළිදරව් කරගෙන තිබේ.
පොලිසිය පවසන්නේ පාරේ ගමන් කරමින් දුරකථන ඇමතුමක සිටි ඇය අසලට ආ යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ඇගේ ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවයි.
පසුගිය 7 වනදා උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ පෙර පාසලේ සංවිධාන කෙරුණු අවුරුදු උත්සවයට සහභාගීවීම සඳහාය. නමුත් ඇයට නිවසින් බැහැරවී මීටර් 750 ක දුරක් ගිය තැන මෙම කරදරය සිදුවිය.
අංජලී චාපා සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා වූ අතර ඇගේ පියා මියගොස් ඇත්තේ වසර 15 කට පමණ පෙරයි.
මියගිය තරුණියගේ මව පැවසුවේ දියණිය නිවසින් පිටවී කෙටි වෙලාවකින් ඇයගේ පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී අංජලීට අනතුරක් සිදුවී ඇති බවට පැවසු බවයි.
“ගෙදරින් ගියේ 7.15 ට විතර. මෙයා යාලුවෙලා ඉන්න පුතා කෝල් කළා, අම්මා මගට යන්නකෝ අංජුට මොකක්හරි කරදරයක්. මාලේ දෙන්නම් කියලා කියන එක විතරයි මට ඇහුණේ ගිහින් බලන්න කියලා කිව්වා. පරණ සම්බන්ධයක් තිබ්බා.
මම නිතර නිතර අහනවා එයාගෙන් කරදර මොකුත් වෙනවද කියලා. මට කියලා නම් නැහැ”
බරපතළ තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය ප්රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉලුක්තැන්න රෝහල වෙත රැගෙන ගොස් තිබුණ ද ඉන් කෙටි වේලාවකට පසු අංජලී ජීවිතක්ෂයට පත්වී තිබුණි.
කෙසේ වෙතත් අංජලිගේ සහෝදරිය පැවසුවේ ඇගේ රන් මාලය ගලවා ගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක සහිත බවයි.
“ෆෝන් එකෙන් අපිට ඇහුණේ චේන් එක දෙන්නම් පිහියෙන් අනින්න එපා කියලා. ඒ නිසා අපිට හිතෙන්නේ හොරෙක්.. එක්කෝ මෙයාට පිහියෙන් ඇනලා තියෙනවා කියලා”
පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන සිදුකරන අතර ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.
0 Comments