spanish-woman-emerges-after-spending-500-days-living-alone-in-cave

ස්පාඤ්ඤයේ ග්‍රානාඩාහි පිහිටි පොළොව මට්ටමේ සිට මීටර් 70ක් පමණ ගැඹුරු ගුහාවක දින 500ක කාලයක් රැඳී සිටි කාන්තාවක් පසුගියදා නිරුපද්‍රිතව පොළොව මතුපිටට පැමිණීමේ අවස්ථාවක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බියට්‍රිස් ෆලාමිනි නම් මෙම කාන්තාව එරට අතිශය දුෂ්කර ක්‍රීඩාවන්හි නිරත තැනැත්තියකි. මෙවැනි අතිශය අසීරු පරිසර අවස්ථාවක ජීවත්වෙමින් හුදෙකලා බව සහ සමාජයෙන් ඈත් මිනිසුන්ගේ මනසට සහ ශරීරයට කෙලෙස බලපාන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම 50 හැවිරිදි වියේ පසුවන ඇගේ මෙම උත්සාහයේ අරමුණ වී තිබේ.

බියට්‍රිස් මෙලෙස යළිත් මතුපිටට පැමිණෙන අවස්ථාව දැකබලා ගැනීම සඳහා ඇයගේ කණ්ඩායමේ සාමාජිකයෝ, හිතමිතුරෝ මෙන්ම, මාධ්‍යවේදීන් ඇතුළු බොහොදෙනෙකු එම ගුහාවේ මුවවිටට රැස්ව සිටියහ. එසේම ඇය යළිත් හිරු එළිය දැක ගන්නා අවස්ථාව වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාව වෙනුවෙන් වෛදවරයෙකු ඇතුළු කණ්ඩායමක් සූදානමින් සිට ඇත. එහිදී ඇය මාධ්‍යවේදීන් අමතා පවසා ඇත්තේ හැකි ඉක්මනින්ම මතුපිටට පැමිණ හොදින් ජලය නා කියා ගැනීම තමන්ගේ එකම බලාපොරොත්තුව වූ බවයි.

කෙසේ වෙතත්, ඇගේ මෙම උත්සාහයත් සමග ලොව වැඩිම කාලයක් හුදෙකලාව ගුහාවක ජීවත් වූ පුද්ගලයාට හිමි නව ලෝක වාර්තාවට හිමිකම් කීමටත් ඇය සමත් ව සිටින්නීය.  වාර්තාවලට අනුව බියට්‍රිස් මෙලෙස එම ගුහාව වෙත ගොස් ඇත්තේ 2021 නොවැම්බර් 20 වැනිදාය. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 48ක්ව තිබී ඇත. ඇය යළිත් ගුහාවෙන් මතුපිටට එන විට ඇගේ වයස අවුරුදු 50 ඉක්මවා තිබුණි. ඇය මෙම කාලසීමාව ජීවත් වීම සදහා තමන්ට අවශ්‍ය ආහාර පාන යනාදිය එම ගුහාව වෙත රැගෙන ගොස් තිබේ. එසේම සෑම දිනකම පාහේ ඉතාමත් කෙටි පණිවුඩ සන්නිවේදනයක් හරහා ඇයගේ සෞඛ්‍ය තත්තවය විමසීමක්ද ඇගේ කණ්ඩායම මගින් සිදුකර තිබේ.



මෙලෙස පොළොව මතුපිටට පැමිණීමෙන් අනතුරුව විනාඩි 50ක කාලයක් පුරා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වා ඇති බියට්‍රිස්, මුල් දින 65 තුළදී පමණක් තමන්ට කාලය පිළිබඳව හොඳ වැටහීමක් තිබූ බව පවසා තිබේ. එහෙත් ඉන් අනතුරුව ගත වූ කාලයේදී දින ගත වන්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ට කිසිදු අවබෝධයක් ඇය සතුව තිබී නැත.

"අතිශය දුෂ්කර ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩිකාවක  ලෙස අතිශය වැදගත්ම දේ තමයි, යමක් ගැන අපි හිතන විදිය සහ අපිට දැනෙන ආකාරය පිළිබඳව පැහැදිලිතාවකින් කටයුතු කිරීම. මේ දින 500ක කාලයේදී බොහෝ අසීරු අවස්ථාවන් තිබුණා තමයි. ඒ වගේම ඉතාමත් සුන්දර අවස්ථාවනුත් රැසක් තිබුණා.” බියට්‍රිස් පවසා තිබේ.  මෙම කාලය ගත කිරීම සඳහා ඇය ගුහාවේ සිට විවිධ  ක්‍රියාකාරකම්හි නිරත වී ඇත. ඒ අනුව පොත්පත් කියැවීම, ලිවීම, චිත්‍ර ඇඳීම, ගෙතීම ඇතුළු කටයුතුවල ඇය යෙදී තිබේ.

”මේ ගමන මට යන්න වුවමනා වුණු තැනක්. ඒ නිසා මම තීරණය කළා මේ ජීවිතය ගත කරන්න. ඒ නිසා මම කෑම ඉව්වා, චිත්‍ර ඇන්දා. හැබැයි මේ සියල්ලක්ම කරද්දී හොඳ අවධානයකින් ක්‍රියා කළා. මොකද මට මොනවා හරි වුණොත්, ඔවුන් අනිවාර්යයෙන්ම මාව උඩට ගන්නවා. මට ඒ දේ වුවමනා වුණේ නෑ.”

ඇය පවසන ආකාරයට මෙම දින 500 තුළදී ඇය පොත් 60ක් කියවා තිබේ. ඇය ආහාරයට ගෙන ඇත්තේ පුලුස්සා ගත් කුකුල්මස් සහ තම්බා ගත් අල ගෙඩිය.  එසේම මෙම කාලය පුරාම තමන් ගුහාව තුළ කළ කී දෑ සියල්ලම ඇය කැමරා දෙකක පටිගත කර ගෙන තිබේ. ඒ පසුකාලීනව ඇය සකස් කිරීමට සූදානමින් සිටින වාර්තාමය වැඩසටහනක් වෙනුවෙනි.



"ගුහාව ඇතුළෙදී ලොකුම කරදරය වුණේ මැස්සන්ගේ කරදරයයි. ඔවුන් මාව ආක්‍රමණය කළා. එය සංකීර්ණ දෙයක් නොවුණත්, එය එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවීම නිසයි, මට තිබුණු එකම ගැටලුව.” යනුවෙන් ද ඇය පවසා තිබේ.  මේ අතර, බියට්‍රිස් මෙලෙස එම ගුහාව ඇතුළට යාමට පෙරාතුව සිය කණ්ඩායමේ සාමාජිකයන් අමතා පවසා ඇත්තේ පිටත පරිසරයේ සිදුවන කිසිදු දෙයක් පිළිබඳව තමන් දැනුවත් නොකරන ලෙසයි. එහිදී තම සමීපතම ආදරණීයෙකුගේ මරණයක් වුවද තමන්ට නොදන්වන ලෙස ඇය පවසා ඇත.

ඒ අනුව, එතැන් සිට ගතවුණු දින 500ක කාලයේදී ලෝකයේ සිදුවූ කිසිදු සිදුවීමක් පිළිබඳව ඇය නොදන්නා බව පැවසෙයි. ඊට මාස තුනකට පසුව එනම් 2022 පෙබරවාරියේ සිදුවූ රුසියාවේ යුක්රේන ආක්‍රමණය, මේ වසරේ පෙබරවාරියේ  සිදුවූ තුර්කි භූකම්පනය ඇතුළු සිදුවීම් කිසිවක් පිළිබඳව ඇය නොදන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.  ”මාව දන්න, මට ආදරය කරන ජනතාව මගේ ඒ අදහසට ගරු කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ.” යනුවෙන් ඇය පවසා තිබේ.