A-30-hour-Sri-Lankan-drive-from-Melbourne-to-Colombo

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වු ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන 7.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවුනේ පැය 30 ක පමණ ප්‍රමාදයකින් පසුවය.
අප්‍රෙල් 15 වැනිදා සෙනසුරාදා ඔස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 4.10ට මෙල්බර්න් නුවරින් පිටත්ව කොළඹ දක්වා පියාසර කැරීමට නියමිතව තිබු UL605 දරන ගුවන් යානය අනපේක්ෂිත ලෙස ප්‍රමාද වූයේ A330-300 වර්ගයට අයත් එම ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙනි.

මේ නිසා එම ගුවන් යානයෙන් මෙරට බලා පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපළේ දැඩි අපහසුතාවයට පත්වුණි.



එහිදී මගීන් චෝදනා කළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් කිසිඳු වගකිව යුතු නිලධාරීයෙකු එහි නොපැමිණි බවය.

කෙසේවෙතත් යානයේ ඇතිවූ දෝෂ නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රීයේම මෙල්බර්න් වෙත පිටත් කර හැරි බව වාර්තා වුණි.

ගුවන් යානයේ දෝෂ නිවැරදි කිරීමෙන් පසු එය ගුවන් ගමන සඳහා මෙල්බර්න් ගුවන්තොටුපළේදී සූදානම් කෙරුණි.

ඒ අනුව පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය මගීන් 218ක් රැගෙන මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10ට මෙල්බර්න් ගුවන්තොටුපළෙන් කටුනායක දක්වා ගුවන් ගත කෙරුණි.

යානයේ සිටි 17 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ප්‍රථමයෙන් ගුවන් පර්යන්තයේ සිට පිටතට පැමිණි අතර පසුව යානයේ සිටි ගුවන් මගීන් පිටතට පැමිණියේය.

ඔවුන් මුහුණදුන් දැඩි අපහසුතා "අද දෙරණ"ට මෙලෙස ප්‍රකාශ කළේය.



"බොහොම කනගාටුයි වෙච්ච දේ ගැන. ශ්‍රීලන්කන් එයාර් ලයින් කියන්නේ පයිඩ් එක. කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. ගොඩක් ෆොරිනස්ලා හිටියා එයාලා ඩිසපොයින්ටඩ්."

"අඩුම තරමින් මේ ගැන ඉන්ෆොමේෂන් එකක් ගන්න බෑ මෙල්බන් එයාර්පෝට් එකේ ඉන්ජාජ්ලාගෙන්. එයාලා ටෙලිෆෝන් එක පැත්තකට තියලා සද්ද නැතුව හිටියා..."

"හදිසියේ අපි මරණයකට වගේ එන්න හිටියා නම් ලොකු අමාරුවක වැටෙන්නේ..."

"දවස් දෙකක් අපි එහෙ එයාර්පෝට් එකේ ලොකුවට රස්තයාදු වුණා. ඒත් ඉතින් ලංකාවට එන්න ආසව තිබුණා ගොඩක්ම. ඒත් මෙහෙම වෙද්දි ගොඩක් දුකයි."