brian-thomas

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (24) නියෝග කළාය.  මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් සහ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා මහත්වරු ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම සිදුකළහ.



ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී. එන්.ඒ.) දෙකක් ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව ද එම විද්වත් කමිටුව අධිකරණයට දැනුම් දුන්නේය. මරණකරුගේ වමනයේ වස තිබූ බව රජයේ රස පරීක්ෂකවරයා ඉදිරිපත් කළ ඩී.එන්.ඒ. වාර්තාවේ සඳහන්ව ඇතැයි ද එම කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා අධිකරණයේ දී සඳහන් කළේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ඩී.එන්.ඒ. රටා තිබී රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මින් ඉහත දී අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට සිවු දෙනකු යොමු කළ ද ඒවා  නොසැසඳෙන බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දුන් බවත් ඒ අනුව නැවත විමර්ශන නිලධාරීන් සහ රෝගියා රෝහලට ඇතුළත් කළ අයවලුන්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා  සිටියේය. ඒ අනුව අධිකරණයෙන් එම නියෝග නිකුත් විණි.



එමෙන්ම මරණකරු භාවිත කළ දුරකතනයේ පටිගත වී ඇති වස්අප් පණිවිඩ මෙන්ම කෙටි පණිවිඩ සහ හඬපට විද්වත් කමිටුවට ලබා දෙන ලෙසට ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ ඩී.එන්.ඒ. වාර්තා තවමත් ලැබෙමින් පවතින බවය. ඒ අනුව අධිකරණය සඳහන් කර සිටියේ එම රස පරීක්ෂක වාර්තා ලද විගස විද්වත් කමිටුවට ඉදිරිපත් කරන බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබ තිබුණේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය. මෙහි වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි මැයි මස 08 වැනිදා තෙක් කල් තැබිණි.

නිමන්ති රණසිංහ