donkey-face-police

ඝාතන රැසක වෙඩික්කරු ලෙස ප්‍රකට රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරුමූණා නමැත්තා අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.



ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර කර සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලා යාම සම්බන්ධයෙන් එදින සහ පසු දිනයන්වල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය විය.



බූරුමූණා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පලාගොස් දින දෙකකට පමණ පසු ඩුබායිහි පදිංචි සිය සේවාදායකයෙක් දුරකථන ඇමතුමක් ලබාදී හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම්වලට සම්බන්ධ සැක කරන අයෙක් අධිකරණයට භාර භාර කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව පෙබරවාරි 26 වෙනි දින බූරු මූණා නමැත්තා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී හමු වූ බව නීතිඥවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.



ඉකුත් මාර්තු මස 15 වැනිදා ඩුබායි රටේ වෙසෙන සිය සේවාදායකයා තමන්ට ඇමතුමක් ලබා දෙමින් 16 වැනිදා බූරු මූණා නමැත්තා අධිකරණයට භාර කරන ලෙස ඉල්ලීමක් කළ බවද, තමන් ඒ වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළද එදින ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නොසිටීම නිසා වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඒ වෙනුවෙන් කටයුතු නොකළ බව ද නීතිඥවරයා පවසා ඇත.

පසුදින 17 බූරුමූණා නමැති සිය සේවාදායකයා අවිස්සාවේල්ල අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවේ දී ඔහු පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව ද නීතිඥවරයා ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ. නීතිඥවරයා ප්‍රකාශ ලබාදීම සඳහා තවත් නීතිඥවරු හය දෙනකු සමඟ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත.

(බිමල් ජයසිංහ - බණ්ඩාරගම)