canada-court-visa

කැනඩාවේ රැකියාවකට යවන බව වසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදල් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවෙකු (ප්‍රධාන දේශපාලන පක්ෂයක කැකිරාව ආසන සංවිධාකවරයෙකු) වසර හතරක කාලයක් ඉක්ම වන තුරු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එච්.එම්.සෙනරත් බණ්ඩාර මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතාට ඊයේ (18දා) නියෝග කළේය.



පුද්ගලයෙකු කැනඩාවේ රැකියාවකට යවන බව පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් වංචනිකව ලබා ගත් බව කියන සිද්ධියකට අදාළ නඩුවක් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සහ අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.  මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා කියා සිටියේ මෙම නඩුවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම පොලීසිය මගහරිමින් සිටින බවයි.



තම සේවාදායකයා තමාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කොට දැනට වසර හතරකට ආධික කාලයක් ගතව ඇති බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ විජේරත්න මහතා එහෙත් මෙතෙක් ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට නොහැකි වී ඇති බවද සඳහන් කළේය. නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතාගේ  මෙම කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමු කළ විනිසුරු සෙනරත් බණ්ඩාර මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්යන්ත පුෂ්පකුමාර මහතාට නියෝග කළේ මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට චෝදනා ලබා සිටි ප්‍රධාන සැකකරු වසර හතරක කාලයක් ගත වනතුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු අධිකණයට දැනුම් දෙන ලෙසයි. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙනි සිටියේය.

උපාලි ආනන්ද