central-bank-50-lakhs

මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට ඊයේ (17) නියෝග කළේය. මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



මහ බැංකුවේ අධි ආරක්ෂිත කාමරයක ගබඩාකර තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දාහක බණ්ඩලයක ඌනතාවක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරි එස්.ආර්. දයානන්ද මහතා ඉකුත් 11 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කළ බවට කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම ඌනතාව පිළිබඳව විමර්ශනය ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06  දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මහ බැංකුවේ අධිආරක්ෂිත කාමරයේ ගබඩා කර තිබූ මුදල්වල අඩුවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවත් කොටුව පොලිසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොටුව පොලීසියට නියෝග කළේය.
නිමන්ති රණසිංහ