chicken-price-reduce

පසුගිය සතියේදී කුකුළු මස් කිලෝවක මිල ක්‍ෂණිකව ඉහළ ගියද, එම තත්ත්වය මේ වනවිට පාලනය වී ඇති බවත්, උත්සව සමය නිමිත්තෙන් ජනතාවට දරාගත හැකි මිලට කුකුළු මස් ලබාදෙන බවත් සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමය සදහන් කරයි. පසුගිය සතියේදී දෛනිකව  මරණයට පත් කර අලෙවි කරන කුකුළු මස්වලට ක්‍ෂණිකව විශාල ඉල්ලුමක් ඇති වූ බවත්, මේ හරහා සිදු වූ මස් හිඟය නිසා කුකුළු මස් කිලෝවක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගිය බවත් එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව උත්සව සමයට අවශ්‍ය කුකුළු මස් තොග අඛණ්ඩව වෙළෙඳ පොළට නිකුත් කරමින් තිබෙන බවත්,

මේ අනුව කුකුළු මස් කිලෝවක් රුපියල්  1,350, රුපියල් 1,400 අතර මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.  කුකුළු මස් කිලෝවක් සඳහා රජ්ය විසින් 18%ක බදු මුදලක් අයකර ගන්නා බවත්, උත්සව සමය නිමිත්තෙන් හෝ මෙම බදු මුදල ඉවත් කළහොත් කුකුළු  මස් කිලෝවක මිල රුපියල් 240කින් අඩු කිරීම තීරණය කර තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

වෙළෙඳ පොළට අවශ්‍ය කුකුළු මස්  තොග අඛණ්ඩව සපයන නිසා මස් හිඟයක් ඇති වී මිල ඉහළ යාමක් සිදුනොවන බවත්,

රටට අවශ්‍ය මස් දේශීය වශයෙන් නිෂ්පාදනය වෙමින් තිබෙන නිසා විදේශ රටවලින් ගෙන්වීමට අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම පැවසීය. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 1,100ක් වැනි  මුදලක් වැය වන බවත්, විදුලි බිල  ඉහළ යාම නිසා ඒ සඳහාත් සැලකිය යුතු මුදලක් වැය වන බවත් පවසා සිටි සභාපතිවරයා, මීට අමතරව 18%ක බදු පවතින බවත්, මේ නිසා කුකුළු මස් කිලෝවක මිල මෙම අගයක් ගන්නා බවත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ