co2-sri-lanka


කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර කාබන් වායු බැහැර කිරීම සඳහා මෙරටට තිබෙන අවකාශය ඇමරිකාව, රුසියාව ඇතුළු කාර්මික රටවලට ලබා දී (carbon trading) මෙරට ණය මුදල් අඩුකර ගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇත.

මෙරට ඒක පුද්ගල කාබන් නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙට්‍රික් ටොන් 1500ක් පමණ වුවත්, මෙරට විශාල කර්මාන්තශාලා ස්ථාපිත කර නොමැති බැවින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රතිශතයකි.


ලෝකයේ කාර්මික රටවල් රැසක් මේ වන විට කාබන් උරා ගැනීමේ අවකාශය මිලදී ගැනීම සඳහා ලංකාව ඇතුළු ලෝකයේ රටවල් කෙරෙහි අවධානය යොමු කර තිබේ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට කාබන් බැහැර කිරීමේ අවකාශය විකුණා ගැනීමට අවස්ථාව ලැබී ඇත.

යුරෝපාකරයේ රටවල්, ස්කැන්ඩිනේවියානු රටවල් සහ කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී උග්‍ර කාර්මීකරණ රාජ්‍යයන් මේ සඳහා දැඩි උනන්දුවක් දක්වන බව අනාවරණය වේ.

ලංකාවේ විශාල වැසි වනාන්තර ප්‍රමාණයක් පවතින අතර, ඉන් විශාල වශයෙන් ඔක්සිජන් නිෂ්පාදනය කිරීම සිදු කෙරේ. සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම නිසා ඇමරිකාවේ ජනතාවටත් හුස්ම ගැනීමේ අවස්ථාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු පවසයි.

මෙරට ස්වාභාවික සම්පත්වලින් ලෝකයට කරන්නා වූ සේවය යම් ප්‍රමාණයකට පරිසර දූෂකයකුට විකිණීමට හැකියාව පවතින බවත්, මෙරට විසින් පිරිසුදු වාතාශ්‍රය ආරක්ෂා කරගත් ප්‍රමාණය මත වාතය අපිරිසුදු කරන ලද රටවල්වලින් එය අයකර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය.


මෙරට තෙත් බිම්, කුඹුරු ආශ්‍රිත බිම්වලට කාබන් උරා ගැනීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බව පර්​ෙය්ෂණවලින් අනාවණය කරගෙන තිබේ. එසේම මෙරට කාබන් අවකාශය කාර්මික රටවලට අලෙවි කිරීම මගින් රටේ ණය මුදල් අඩු කර ගැනීම, රට තුළ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ණය නොගෙන නව ආයෝජකයන් සොයා ගැනීම ආදී අවස්ථා රැසකට මග පෑදෙන බවද පරිසරවේදීහු කියා සිටිති.

මෙරට කාබන් ප්‍රතිශතය බිංදුව දක්වා අඩු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම ඇතුළු කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නෝර්වේ හිටපු පරිසර ඇමැති එරික් සොල්හයිම් මෙරටට පසුගියදා පැමිණි අතර ඉදිරියේදී කාබන් වෙළෙඳාමේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති බිල් ගේට්ස්ද මෙරටට පැමිණීමට නියමිතය.

1992 වසරේදී රියෝද ජැනයිරෝ නුවර පැවැති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය සම්බන්ධ මහ සමුළුවේ දී ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම වැඩපිළිවෙළ සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ වෙනම ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.

සාලිය කුමාර ගුණසේකර