commision-election-court

උතුරු මුහුදු තීරයට එපිටින් ජාත්‍යන්තර මුහුදේ දී 2019 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 196ක් සමග අත්අඩංගුවට ගත් විත්තිකරුවන් පස් දෙනෙකු මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (06 වැනිදා) නියෝග කළේය.



දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.



තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි.

මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බවත් චෝදනාවලට අදාළව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බවත් විනිසුරුවරු චෝදනා කළහ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන්ද විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුවේදී කරුණු ඉදිරිපත් කළහ.

පොලීසිය විසින් මෙම නඩුවට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කර සිටි විනිසුරු මඩුල්ල විමර්ශන නිසියාකාරව සිදු කරනු නොමැති බවත් පොලිසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් සඳහන් කළහ.

අනුර චමින්ද අප්පුහාමි, තවරාසා සුදාකරන්, අග්ගෝසුපිල්ලේ තවරාසා, ලසන්ත ප්‍රියලාල් සහ කන්දයියා චන්ද්‍රකුමාර් යන විත්තිකරුවන් මෙසේ අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.



2019 වසරේ අප්‍රේල් 21 වැනිදා ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 400ක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 196 ග්‍රෑම් 986ක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්තිකරුවන් පස්දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබීය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුව ද මෙයයි.

කේ.එස්. උදයකූමාර