cpc-loan

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පර්යන්ත සමාගම්  සේවකයන්ගේ ණය ආපසු ගෙවීමේ  හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රම කීපයක් ක්‍රියාත්මක කිරීම නිසා සේවක හිඟ ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 700 ඉක්මවා ගොස් ඇති බව ජාතික විගණන කාරියාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කෙරිණ. විගණන වාර්තාව මගින් අප්‍රේල්  මස 02වැනිදා මෙය හෙළි කර ඇත. මෙම හිඟ ණය මුදල යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ හිඟ ණය මුදල රුපියල් මිලියන 3,359කි. තොග ගබඩා පරියන්ත සමාගමේ හිඟ සේවක ණය මුදල රුපියල් මිලියන 4,314ක් වන අතර, මෙම ණය මුදල් ප්‍රමාණය බැංකු වෙත ගෙවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පරියන්ත සමාගමට නොහැකි වී ඇත.



සංස්ථාව සහ සමාගම විසින් සේවකයන්ගෙන් ණය ආපසු  ගෙවීමේ හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රියාත්මක කිරීම, සේවකයන් වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් පවත්වාගෙන යෑම මෙම තත්වයට හේතුවී ඇති බවද ජාතික විගණන වාරිතාව පෙන්වා දෙයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත සේවකයන්ගෙන් 40%කට වඩා සංඛ්‍යාවකට සහ තොග ගබඩා පරියන්ත සමාගමේ සේවකයන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ මූලික වැටුපෙන් 50%ක් ඉක්මවා අතිකාල දීමනා ගෙවා ඇත. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පරියන්ත සමාගමේ සේවකයන්ගේ මූලික වැටුප සම්පූර්ණයෙන්ම හෝ ඊට වැඩියෙන් හෝ සැලකිය යුතු ප්‍රතිශතයක් ණය ආපසු ගෙවීම සදහා භාවිත කිරීමට සිදුවී තිබේ.



අතිකාල දීමනා වැඩි කිරීමේ අවශ්‍යතාවක් සංස්ථාව වෙත නොතිබූ අතර සේවකයන්ට ඔවුන්ගේ මූලික ඉපයීම ණය ගෙවීමට හා අනෙකුත් වියදම් සදහා ප්‍රමාණවත් නොවීම නිසා අතිකාල සේවයේ යෙදීමට සිදුවී තිබූ බව ද විගණන වාරිතාව මගින් අණාවරණය කර ඇත. මෙම තත්වය මෙකී ආයතනවල අතිකාල දීමනා අනවශ්‍ය ප්‍රමාණයකින් ඉහළ යෑමට ඍජුව බලපා තිබේ. මේ නිසා ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් ඉතා හදිසි ප්‍රාග්ධන වැඩි දියුණු කිරීමෙන් ව්‍යාපෘති අත්හැරීමට සිදු වූ බව ද විගණනය මඟින් අප්‍රේල් මස හෙළි කර ඇත.

චන්දන සමරවික්‍රම