dappula-tid

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ අද (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීම සඳහා මෙම කැඳවීම කළ බව ද හෙතෙම සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සඳහන් කරමින් හිටපු දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය කර ඇත.මේ සම්බන්ධයෙන්  අධිකරණ බන්ධනාගාර  කටයුතු සහ ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, හිටපු නීතිපතිවරයාගේ  එම ප්‍රකාශය සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නා ලෙසට  නීතිපතිවරයා  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී ඇති බවයි.



2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක්  පවතින බවට හිටපු නීතිපතිවරයා සඳහන් කළේ නම්, එම සිද්ධිය වන විට එවකට නීතිපතිවරයාව සිටි ඔහු ඒ අවස්ථාවේ දී කළ යුතුව තිබුණේ පොලීසිය කැඳවා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසට දැනුම් දීම බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. හිටපු නීතිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කළේ කුමන  තොරතුරු මත ද? එවැනි ප්‍රකාශයක් කළේ ඇයි ද? යන්න සොයා බැලීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක්  සටහන් කරගන්නා ලෙසට  තමන් වත්මන් නීතිපතිවරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම  ප්‍රකාශය කර ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2021 වර්ෂයේ මැයි මස මුල දීය.

''2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නායකත්වය පිළිබඳ නිගමනයකට එළැඹීම සඳහා සාක්ෂි සහ බුද්ධි තොරතුරු හොඳින්  ඇගැයීමකට ලක් කළ යුතු බවත්, රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු  ඇතුළත් තොරතුරු මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවත්, හිටපු නීතිපතිවරයා එම ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.



මේ අතර, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින්, හිටපු නීතිපති දප්පුල ද  ලිවේරා මහතා පාස්කු  ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ  මොළකරුවන් හෙළිදරව් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක්  නොපවත් වන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේය.  මේ අතර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ලොන්ඩන් පෙදෙස, කොළඹ 07 ප්‍රදේශයේ කාර්යාලයට සුදුවෑන් රථයකින් පැමිණි  පුද්ගලයකු එහි තිබූ ලිපිගොනු අවුස්සා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයාට කළ  පැමිණිල්ලක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සුදු වෑන් රථයකින්  පැමිණි එම නාඳුනන පුද්ගලයා ඉකුත් 2022  වසරේ නොවැම්බර් මස 11 වැනිදා පෙරවරු 4ට පමණ හිටපු නීතිපතිවරයාගේ  කාර්යාලයේ වහලයෙන් බිමට පැන එහි තිබූ සියලු ලිපි ලේඛන අවුස්සා, සුක්කානමක කවරයක් පමණක් රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණවල දී තොරතුරු හෙළිවී ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 10 වැනිදා දැනුම් දුන්නේය. මෙම සිද්ධිය තම ආරක්ෂාවට තර්ජනයක් බවට හිටපු නීතිපතිවරයා පොලිස්පතිවරයාට කළ  පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

නිමන්ති රණසිංහ