deepal-perera-speaks

සිංහල හා හින්දු අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවලට සහභාගී කරවන සියලුම තරගකරුවන්ට ජලය හෝ වෙනත් ස්වාභාවික පාන වර්ග වැඩිපුර පානය කිරීමට ලබා දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා එම උත්සව සංවිධායකවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. අධික උෂ්ණ සහගත කාලගුණය හේතුවෙන් තරගකරුවන්ගේ ශරීරයන්හි ජලය වාෂ්පවීමෙන් (විජලනය) තාප කම්පන තත්වයන්ට ගොදුරුවී අවසානයේ මරණය පවා සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.



විශේෂයෙන්ම අව්වට නිරාවරණය වන ක්‍රීඩාවල යෙදෙන සියලුම ක්‍රීඩකයන්ට ජලය, තැඹිලි, කුරුම්බා, දෙහි, දොඩම් හෝ ජීවනී වැනි ස්වාභාවික යුෂ වර්ග පානයට ලබාදීම ඉතාමත් සුදුසු බව කී විශේෂඥ වෛද්‍යවරයා එක දිගට දිගු වෙලාවක් යෙදෙන මැරතන් වැනි ක්‍රීඩාවන්හි නිරත වන ක්‍රීඩකයන්ට අන් ක්‍රීඩකයන්ට වඩා වැඩි වශයෙන් ජලය ඇතුළු දියර වර්ග පානයට දීම වැදගත් බවද සඳහන් කළේය. අධික උෂ්ණසහගත කාලගුණය හේතුවෙන් සියලු පුරවැසියන් මේ  දිනවල වැඩිපුර ජලය පානය කිරීම වැදගත් බවද දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම දරුවන් ජලයෙන් තෙමීමට හෝ ආරක්ෂිතව ජලයේ බැස හිඳීමට සැලැස්වීම ප්‍රතිඵලදායි බව කී විශේෂඥ වෛද්‍යවරයා වැඩිහිටි පුද්ගලයන්ද දිනකට කිහිප වරක් වතුරෙන් ඇඟ සේදීම වැදගත් බව පෙන්වා දුන්නේය.  අධික උෂ්ණාධික කාලගුණය සතුන්ටද විශාල බලපෑමක් වන හෙයින් ඔවුන්ගේ පාවිච්චිය සඳහා ජලය බඳුනක් මිදුලේ තැබීමට කාරුණික වන ලෙසට ඉල්ලීමක් කරන බවත් පරිසරයේ සිසිල් බව ඉදිරියේදී වඩාත් තහවුරු කර ගැනීමේ අරමුණින් සෑම පුරවැසියකුම පැළයක් රෝපණය කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ