මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණය අභිරහසක් ලෙස පසුගිය දිනවල සැකයක් ඇති වුවද එය සිරෝසීස් රෝග තත්වය උත්සන්නවීමෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වූ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් තිබුණේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී. ඒ. පුෂ්පකුමාර නිශ්ශංක 58 නමැති අයයි.
නිවසේ තනිව සිටින සිය සැමියා පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරිය යාබද නිවසෙහි පුද්ගලයාට දුරකථනයෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ සිදු කළ සොයා බැලීමේ දී ඉංජිනේරුවරයා නිවසේ සාලයේ ලේ විලක් මැද මුණින් අතට වැටී සිටින අයුරු දැක කහතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ද පැමිණ විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ සිදු කෙරිණි.
අදාළ මරණය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම නිවස වෙත පැමිණි කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය මළ සිරුර මෙන්ම ස්ථානය පරීක්ෂා කිරිමෙන් අනතුරුව මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර මරණ පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කෙරිණි.
ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළේය.
අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් සිරෝසීස් රෝගය උත්සන්න වී ඉංජිනේරුවරයාගේ මරණය සිදුවී ඇති බවට එහි දී අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි. කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ජයසිංහ
පෙර වාර්තාව
වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මියගිහින්
0 Comments