driving-licence-issue

පාස්පෝට් හා ජාතික හැඳුනුම්පත් සඳහා අවශ්‍ය ඡායාරූප මාර්ගගත ක්‍රමයට යොමුකරන පද්ධතියට සමාන පද්ධතියක් රියැදුරු බලපත්‍ර සඳහා ද සැකසීමට වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයක් රුපියල් කෝටි විසිපහක මුදලක් එක්රැස් කරමින් සිටින බව අනාවරණය වෙයි.

එම සංගමයට සම්බන්ධ ඡායාරූප ශිල්පීන්ගෙන් අදාළ මුදල එක්රැස් කරමින් සිටින බවද වාර්තා වේ.



රියැදුරු බලපත්‍ර සඳහා තම ආයතනවලින් ලබාගන්නා ඡායාරූප මාර්ගගත ක්‍රමයට ජාලගත කරන පද්ධතියක් නිර්මාණය කරන්නැයි මෙකී සංගමයේ සාමාජිකයන් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවී ඉල්ලීමක් කර ඇතත්, අමාත්‍යාංශය පවසා ඇත්තේ ඊට අවශ්‍ය මුදල් නොමැති බවයි.

එහිදී මෙම සංගමයේ නියෝජිතයන් පවසා ඇත්තේ ඊට අවශ්‍ය මුදල් තම සංගමයේ සාමාජිකයන්ගෙන් එක්රැස් කර ලබාදෙන බවත් ඉන්පසු පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙසත්ය.



ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනද ඊට එකඟතාව පලකර ඇති අතර, පසුව ඊට අවසර ලබාදෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් රජය විසින් සිදුකළ යුතු මෙවන් ව්‍යාපෘතියක් පෞද්ගලික මුදල් වලින් සිදුකිරීම ගැන ඡායාරූප ශිල්පින්ගෙන් දැඩි විරෝධයක්ද එල්ලවී තිබේ.

හේමන්ත ලියනපතිරණ