fake-visa-system-nabbed

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රටවලට පලා යෑම සඳහා භාවිත කරන නවතම උපක්‍රමයක් කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (17) අනාවරණය කරගනු ලැබීය. ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් එහිදී මුණගැසෙන තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කර ගන්නා අතර එමගින් යුරෝපා රටවලට පලා යන බවට තොරතුරු අනාවරණය කරගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු කියති. එවැනි කූඨ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාවට ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු පෙරේදා (17) අත් අඩංගුවට ගත් බව ද කටුනායක ගුවන්තොටු පොළ පිටත් වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කරති.



ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි. ඔහු පෙරේදා (17) අලුයම 3.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවට යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.  ඔහු සිය ගුවන් සේවා නිෂ්කාශන කටයුතු  නිමවා, විගමන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයෙහි පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ ඇත. එහිදී එහි සේවය කළ නිලධාරියාට, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇති මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රය පිළිබඳව සැකයක් ඇති වී ඔහු කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරියා වෙත යොමු කර ඇත.



එහිදී එම තරුණයා ඉදිරිපත් කළ සියලු ලියකියවිලි දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමු කර ඇත. මෙම ඒකකයේ පරීක්ෂා කිරීම්වල දී මෙම මෝල්ටා වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමගම, එම තරුණයා '' තමන් ඉන්දියාවේ නවදිල්ලි නුවර තැරැව්කරුවකු මගින් මෙම වීසා බලපත්‍රය සකස් කර ගත් බව " කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇත. මෙම  අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩී.එස්.ඒ. දෙහිවත්ත සහ ටී.එච්. රත්නායක යන මහත්වරුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී ආර්.එම්.එන්.එස්. කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබ තිබේ.
ටී.කේ.ජී. කපිල