fuel-quota-qr-extended

උත්සව සමය මූලික කර ගනිමින් ඉහළ දැමූ ඉන්ධන  කෝටාව ඊයේ (18දා) සිට තවත් සතියක කාලයක් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදී. ඒ අනුව සතියකට විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව, ලීටර් 15ක් දක්වාත්, සාමාන්‍ය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව, ලීටර් 08ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

මීට අමතරව යතුරුපැදි සඳහා ලබාදෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාත්, බස් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාත්, මෝටර් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක  ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමිණි. එසේම ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබාදෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාත්, ලොරි රථ සඳහා ලබාදෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාත්, 'Quadric Cycle’ සඳහා ලබාදෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාත්, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත්, වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

ඉන්දික හේවාවිතාරණ