galle-fire-one-dead

ඊයේ (15) වන දින රාත්‍රී කාලයේ ගාල්ල පොලිස් වසමේ දඩල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ගාල්ල පොලිසිය වාර්තාකර තිබේ.


ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් පසු රාත්‍රී කාලයේ පැවති ඩී.ජේ සංගීතයක් නරඹමින් සිටි මියගිය අය ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි කරුණු අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් මියගිය පුද්ගලයා හා සැකකරුවන් අතර නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.
මියගිය තැනැත්තාට වයස අවුරුදු 36ක් වූ අතර තුවාලකරුට අවුරුදු 18 කි. ඔවුන් දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

 එක් සැකකරුවෙකු මරණකරුගේ ඥාතියෙකු වන අතර මෙම වෙඩි තැබීමට පිස්තෝල අවියක් භාවිතා කර ඇති බව පොලිසිය සැකකරනු ලබයි.
ඝාතනයෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.