gampola-incident

ගම්පොළ  ප්‍රදේශයේ විහාරස්ථානයක බුද්ධ පූජාව තැබීමේ දී ගාථා වරදිනවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමණේර හිමිනමකට දින ගණනාවක් පුරා පහර දී වධ හිංසාවට ලක්කිරීම හේතුවෙන් එම සාමණේර හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි  පුස්සැල්ලාව පොලිසිය කියයි. සාමණේර හිමියන්ට කොස්සක් කැඩෙනතුරු පහර දී මුත්‍ර පොවා මුහුණට පහර දී ඇතැයි  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම හිමිනමගේ දත්වලට හා නාසයට ද හානිවී ඇති අතර, හිසට කතුරකින් ඇන කවකටුවලින් ද ඇන දරුණු ලෙස වධ හිංසනයට ලක්කර ඇතැයි  පොලිසිය කියයි.

ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක දී මෙම කුඩා හිමිනම මෙසේ පහර කෑමට ලක්ව ඇත. එම හිමිනම පැවිදි දිවියට ඇතුළත්ව තවමත් දින 45ක් බව පැවැසේ. එම සාමණේර හිමියන්ගේ නිවෙස ගම්පොල අටබාගේ උඩගම සොගමා ජනපදයේ අක්කර 20 ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඒ හිමියන්ගේ සීයා හා ආත්තම්මා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ අපහසුවෙන් ඇවිදිනු දැක ඒ පිළිබඳව එහි විහාරාධිපති හිමිගෙන් විමසා ඇත.

සාමණේර හිමියන්ගේ මුහුණේ හා කන ළඟ තිබෙන තුවාල ගැන ද ඔවුන් විමසා ඇති අතර විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ රෑස් එකක්ද කොහෙද හෙටවත් බෙහෙත් අරන් දෙන්න ඕනෑ යනුවෙනි. සිද්ධිය පිළිබඳව සාමණේර හිමිගෙන් විස්තර දැනගත් සීයා ඒ පිළිබඳව උන්වහන්සේගේ පියා හා ලොකු තාත්තාට දන්වා ඇත. ඔවුන් පැමිණ සාමණේර හිමිනම ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව උන්වහන්සේ පේරාදෙණිය රෝහලට මාරුකර යවා ඇත.


සුරංග රාජනායක