gampola-incident

උණ රෝගයට ලක්ව සිටි හත් හැවිරිදි දැරියකට වේදනා නාශක අධිමාත්‍රාවක් ලබාදීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ ඒ. මැදිවක මහතා විසින් කරන ලද රෝහල් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ උඩහේන්තැන්න, උඩුවැල්ල, තාමරවල්ලි ජනපදයේ පදිංචි ආර්. පී. ශාමලී තරුෂි නමැති දැරියකි. ඇය උඩුවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 2 වැනි වසරේ ශිෂ්‍යාවකි. ඇගේ දෙමවුපියන් ඇයට ගම්පොළ කුරුඳුවත්ත රෝහලින් අවස්ථා දෙකකදී බෙහෙත් රැගෙන දී ඇත. එම ළමයාට නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධ හලෙන් ලබාදී ඇති වැඩිහිටි මාත්‍රාවක් දැරියට ලබාදී තිබෙන බව වැඩිදුර පරීක්ෂණයේදී හෙළි වී ඇත.



කුරුඳුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබාදීමට සිටින්නේ එක් ඖෂධවේදියකු බව පැවසේ.  පෙතිවර්ග දැමීමට රෝහලට අවශ්‍ය දවටන හෝ කවර  නොමැති අතර එම ඖෂධ වර්ග ලබාදෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමින් බව රෝගීහු පවසති. රෝගීන් වැඩි බැවින් පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ග කලින්ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට දීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙන් බව ඔවුහු කියති. වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාව එසේ ලියා තිබුණද ළමයින් පැමිණි විට එම කොළේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදු කර ඇති බවද රෝගීහු සඳහන් කරති.

හත් හැවිරිදි මෙම දැරියටද ඒ ආකාරයට ඖෂධ ලබාදී ඇති අතර එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව මෙම දැරියට දුන් බව මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දරුවාගේ පියා ප්‍රකාශ කර ඇත.මේ ආකාරයට දැරියට උණට බෙහෙත් ගත්තද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර මව්පියන් දැරිය ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුව බවද මරණ පරීක්ෂණයෙන් හෙළිවිය.

එහිදී දැරිය දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇතත් ගම්පොල, පේරාදෙණිය, නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබූ නිසා දැරිය රාගම රෝහලට රැගෙන යාමට තීරණය කර ඇත.

ඒ අතර දැරිය දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කර ඇති අතර එදින රාත්‍රී 7:30 ට පමණ දැරිය ගම්පොළ රෝහලේදීම මියගොස් ඇත. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දැරියගේ සිරුර මහනුවර මහ රෝහලට ඉකුත් 23 වැනිදා රැගෙන ගිය අතර එහිදී අනාවරණය වී ඇත්තේ අධිමාත්‍රාව ලබා දීමෙන් අක්මාවට සිදු වූ බරපතළ හානි නිසා දැරිය මියගොස් ඇති බවයි.

එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනි සී.යු. වික්‍රමසිංහ මහත්මිය මියගිය දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර පරීක්ෂණයකට ද යොමු කර ඇත. ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ගම්පොල රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් 73444 තේනුවර මහතාගේ මෙහෙයවීම මත දැරියගේ පියා වන එරංග සමීර කරුණාරත්න (32) හා මව වන ජයසිංහගේ මල්ලිකා රාජපක්ෂ යන අය සාක්කි දුන්හ. මෙහිදී මරණ පරීක්ෂකවරයා මරණයට හේතු ලෙස උණ රෝගයට අධිමාත්‍රාවෙන් ඖෂධ ලබාදීම, අක්මාවට හානි වීම යනුවෙන් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
 සුරංග රාජනායක