gatambe-incident

මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට පහරදී බරපතළ තුවාල සිදු කළ බව කියන සැකකරුවන් හත්දෙනකුට මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් ජගත් පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.



එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උඳුගොඩ හර්ෂ මධුශාන් රොද්‍රිගෝ (අරුප්පොල), ෂෙහාන් රුක්මල් බණ්ඩාර දිසානායක (අරුප්පොල), රමිශ් ශානික  රණසිංහ (මාවිල්මඩ), හෙට්ටියාකන්දගේ හන්සඟ චමුදිත ප්‍රනාන්දු (පේරාදෙණිය), හෙට්ටියාකන්දගේ ළහිරු ශම්මික ප්‍රනාන්දු (පේරාදෙණිය), අබේසේකර සෙනවිරත්න මුදියන්සේලාගේ බිම්සර යොහාර බණ්ඩාර සෙනෙවිරත්න (කැටවල ලෙව්ල), ඇතිගේ නිත්‍ය රන්දික සිල්වා (ඇල්විටිගල, රාගල) යන සැකකරුවන්ය.

නීති විරෝධී ජන රාශියක සාමාජිකයන්ව සිට පොලිස් නිලධාරියකුට පහර දීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ බී වාර්තාවක් මගින් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. මෙම සැකකරුවන් අතර ප්‍රධාන දේශපාලන පක්ෂයක  මහනුවර නගරාධිපති අපේක්ෂකයකුගේ පුතකු, මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ පුතුන් දෙදෙනකු, වෛද්‍යවරයෙකුගේ සහ මහාචාර්යවරයකුගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් සිටින බවද පොලිසිය සඳහන් කරයි.



මහනුවර පොලිස් වසමේ ගැටඹේ ප්‍රදේශයේ හෝටලයක රථගාලක් තුළ මෙරට ප්‍රධාන පෙළේ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර මෙම පහරදීම සිදු වී තිබේ. එම පහර දීමෙන් පොලිස් නිලධාරියාගේ අතක අස්ථී බිඳීමක් සිදු වී ඇති බවත් ඔහුට ශල්‍යකර්මයක් ද සිදුකළ බවත් රෝහල් ආරංචිමාර්ග කියයි.
ෂේන් සෙනෙවිරත්න