පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගොකරැල්ල බක්මීගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට පෙරේදා (26) රාත්‍රියේ කඩාවැදුණු කොල්ල කල්ලියක දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහරදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය කියයි.
එක් සැකකරුවකු ඊයේ හදිසි ශල්‍යකර්මයකට ද ලක් කළ බව ගොකරැල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටීමට ව්‍යාජ ලෙස සකස්කර ගන්නා ලද හැඳුනුම්පත් දෙකක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටීම සඳහා ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සකස් කරගෙන ඇති අතර අනෙකා පොලිස් කොස්තාපල්වරයකු ලෙස පෙනී සිටීම සඳහා ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සාදා ගෙන තිබිණි යැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනාගෙන් අයකු නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කළ අයකු බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවෝ දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අය වෙති. කාර් රථයකින් පැමිණි සිවුදෙනකුගෙන් යුත් කල්ලියක් මෙම නිවෙස කොල්ලකෑමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි. තම සගයන් දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමෙන් පසුව අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි කාර් රථයේ නැගී පලාගොස් ඇතැයි එම නිලධාරියා කීය.
බක්මීගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ අවන්හලක් සහ පලතුරු කඩයක් පවත්වාගෙන යන අයෙකි. ව්‍යාපාරිකයාගේ නිවසට කඩාවැදුණු කොල්ලකල්ලිය ඔවුන් පොලිස් නිලධාරීන් බව පවසා එහි සේවකයකුගේ අත්වලට මාංචු දමා ඇති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ නිවසින් බැහැරව සිටි ඇයගේ සැමියාට මේ බව ජංගම දුරකථනයෙන් දැනුම් දී ඇතැයි කියති.
ව්‍යාපාරික සැමියා මේ බව නිවස ආසන්නයේ පදිංචි සිය මිතුරන් කිහිප දෙනකුට ජංගම දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු ඔවුන් තවත් ප්‍රදේශවාසීන් පිරිසක් කැටුව පැමිණ කල්ලියේ දෙදෙනකු අල්ලා ගෙන පහරදී ඇත.
එම කල්ලියේ දෙදෙනකු ප්‍රදේශවාසීන්ගෙන් බේරී කාර් රථයේ නැගී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. පලාගිය දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments