habarana-incident

යාචකයකු බවට පැවසෙන පුද්ගලයකු ඝාතනය කර හෝ සුසාන භූමියක භූමදානය කරන ලද පුද්ගලයකුගේ බවට සැලකෙන මළසිරුරක් ගෙනැවිත් සියදිවි නසාගත් බවට ඒත්තු යන ආකාරයට එම සිරුර පුලුස්සා සියදිවි නසාගත් බවට පොතක ලියා වසර දෙකයි මාස හයක කාලයක් සැඟවී සිටි අපරාධ ගණනාවකට සම්බන්ධ බවට පැවසෙන විසිහත් හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි හබරණ පොලිසිය පවසයි.

කොල්ල කෑමක් ඇතුළු අපරාධ කිහිපයකට අත්අඩංගුවට ගැනීමට  සොයමින් සිටි මෙම පුද්ගලයාට අධිකරණයෙන් වරෙන්තු තුනක්ද නිකුත් කර තිබූ බව හබරණ පොලිසියේ නිලධාරියෙක්  ඊයේ පැවසීය. මිතුරකු සමඟ හවුල් වී යාචකයකු ඝාතනය කර ඔහුගේ සිරුර කුඩාරඹෑව, පලුගස්වැව ගල්වැඩපොළට යන මාර්ගය අසලට ගෙනැවිත් පුළුස්සා පසුව ගිනි තබාගෙන සියදිවි නසාගත් බවට පොතක ලියා තබා එම පොතද සිරුර පුලුස්සා දැමූ ස්ථානය අසල දමා තමා සහ මිතුරා පලාගිය බව අත්අඩංගුවට ගත් සැකකාර 27 හැවිරිදි තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කළේ යැයි පොලිසිය කියයි.



අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයන නිසාත් අධිකරණය මගින් වරෙන්තු තුනක් නිකුත් කර තිබූ නිසාත් යළි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීමේ උපක්‍රමයක් ලෙස මෙසේ කළ බව සැකකරු පොලීසියට පවසා ඇති බව කියති. තමා මියගිය බවට පොලිසිය තීන්දු කර තමා ගැන තවදුරටත් සොයා බැලීමක් නොකරනු ඇතැයි විශ්වාස කළ බව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින්  පවසන්නේ යැයි පොලිසිය පවසයි.

මැදිරිගිරිය, යුදගනාව ප්‍රදේශයේ පදිංචි  27 හැවිරිදි තරුණයකු සහ 33 හැවිරිදි විවාහක පුද්ගලයකු මුලින්ම සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මකුලුගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගත් විසිහත් හැවිරිදි සැකකරු පොලිසිය ප්‍රශ්න කිරීමේදී හබරණ පොලිස් වසමේදී යාචකයකු 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක ඝාතනය කර හබරණ පොලිස් වසමේ කුඩාරඹෑව, පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි ගල් වැඩපොළට යන මාර්ගයට ගෙනැවිත් ඝාතනය කර පුලුස්සා දැමූ තොරතුරු හෙළි කර ඇති බව පොලීසිය කියයි. මෙය කිරීමට තමාගේ 33 හැවිරිදි මිතුරා ද හවුල්වූ බව මෙම සැකකරු වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි කියති.



අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු තම මිතුරා පවසන්නේ අමූලික බොරුවක් බවත් රඹෑව ප්‍රදේශයේ සුසාන භූමියක භූමදානය කර තිබියදී ගොඩගත් මළ සිරුරක් ගල්වලට යන මාර්ගය අසලට ගෙනැවිත් දමා එම සිරුර පුලුස්සා දැමූ බවත් කියන්නේ යැයි හබරණ පොලිසියේ එම නිලධාරියා කීය.  විසිහත් හැවිරිදි මිතුරා තම බිරිඳගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන එම හැඳුනුම්පත උපයෝගී කර ගනිමින් ජංගම දුරකතන සිම් පතක් ලබාගෙන එය පරිහරණය කරන බවට තමාට දැනගැනීමට ලැබිණි යැයි තිස්තුන් හැවිරිදි සැකකරු තවදුරටත් පොලිසියට  පාපෝච්චාරණයක්  කරමින් පවසා ඇතැයි ද කියති.



මිතුරා මෙම සිම් පත යොදා ගනිමින් යම් යම් අපරාධ ඉදිරියේදී සිදු කළ හොත් එයට බිරිඳ ද පොලිස් අත්අඩංගුවට පත්වන නිසා තමා මේ ගැන පොලීසියට  පැමිණිලි කළ බවද සැකකරු පවසන්නේ යැයි පොලීසිය කියයි. මේ ගැන පොලීසියට පැමිණිලි කළ නිසා අමනාපයෙන් පසුවන තම මිතුරා යාචකයකු ඝාතනය කළ බව පවසා ඊට තමාද අසුකර දීමට බොරු ගොතා කියන බවත් තිස්තුන් හැවිරිදි සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට තිබේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා මැදිරිගිරිය පොලිස් වසමට අයත් යුදගනාව රණවිරු ගම්මානයේ පදිංචිකරුවෝ වෙති.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය