මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කරන පොලිස් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරි කරන අයෙකි. කොස්තාපල් සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74ක්, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි (බුද්ධි විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මගපෙන්වීම මත පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පිටකෝට්ටේ සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිට මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 64ක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්ගේ සම්බන්ධීකරණය මත මාතර වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ලබා ගැනීමට කටයුතු සලසා දී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු කරගත් කරුණු මත සැකකාර කොස්තාපල් ජංගම දුරකථන දෙකක් සමඟ මිරිහාන පොලිස් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
0 Comments