hospital-robber-nabbed

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ හා මැදිවියේ කාන්තාවන් සමග මිතුරු වී නිදිපෙති මිශ්‍ර බීම වර්ග පානය කිරීමට සලස්වා ඔවුන් සතු රන්බඩු සොරා ගැනීමේ නිරත කාන්තාවක  කොළඹ ජාතික රෝහල ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව මරදාන පොලුසිය පවසයි.සැකකාරිය මාතර අහංගම ප්‍රදේශයේ පදිංචි 44  හැවිරිදි කාන්තාවක බවත්, ඇය ඇගේ අනියම් සැමියා  සමග එක්ව කොළඹ බෝඩිමක නවාතැන්ගෙන මෙම  අපරාධවල නිරත වෙමින් සිටි ඇති බවත් පොලිසිය  කියයි.

කොළඹ ජාතික රෝහලේ සායන සඳහා පැමිණෙන කාන්තාවන් තිදෙනකු සැකකාරිය මේ අයුරින් මත්කර ඔවුන්ගේ රන්මාල,

මුදු හා මුදල් සොරා ගැනීමේ පැමිණිලි තුනක් ගත වූ මාසය තුළ මරදාන පොලිසියට ලැබී තිබූ බව පොලිසිය පවසයි. එම පැමිණිලි අනුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ ආවේෂණ රාජකාරියේ නිරත වෙමින් සිටියදී මෙම සැකකාරිය ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය ද සායන සඳහා පැමිණි බව පවසමින් සායනයක් පැවැත්වෙන ස්ථාන වෙත ගොස් හිඳගෙන සිටින බවත්, ඇය එහි පැමිණ  ආසන්නයේ සිටින කාන්තාවන් සමග මිතුරුවන  බවත් පොලිසිය පවසයි.  කාන්තාවන් සමග සුහදව කතා කරමින් සිටින සැකකාරිය පසුව ඔවුන්ට තේ හෝ බීම පානක කිරීමට යෝජනා කරමින් එම ස්ථානයේ දී හෝ රෝහල අසල ජනතාව වැඩි වශයෙන් නොගැවසෙන ස්ථාන වෙත කඳවාගෙන ගොස් ඇය විසින් බෑගයේ දමාගෙන සිටින බෝතලයකින් බීම ලබා දෙන බවත් පොලිසිය පවසයි.



සැකකාරිය ලබා දෙන බීම පානය කිරීමෙන් පසු මත් වී නින්දට වැටුණු කාන්තාවන් ඇය වත්තම් කරගෙන ඔවුන් සතු රන් මාල මුදු ඇතුළු වටිනා දේපළ සොරාගෙන ඉහත කාන්තාවන් එම ස්ථානයේම දමා සැකකාරිය පලා යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.  මෙම සිද්ධීන් සම්බන්ධයෙන්  සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇයට ආධාර අනුබල ලබදීම සම්බන්ධයෙන් ඇගේ අනියම් සැමියා ද රෝහල ආසන්නයේ දී අත්අඩංගුවට ගැනුණ බව පොලිසිය සඳහන් කරයි. සැකකාරියගේ අබෑගය පරීක්ෂා කිරීමේ දී එහි නිදිපෙති කුඩු පාර්සලයක් හා නිදිපෙති මිශ්‍රකර සකස් කළ බීම බෝතලයක් ද සොයාගත් බව කියයි.


ඉන්දිකා රාමනායක