hot-weather-health-advice

මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ විය.

 සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර 200ක්  පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙහිදී පැවසීය. දිනපතා පෙරවරු 9 සිට සවස 4 දක්වා සෑම පුද්ගලයෙක්ම එලෙස ජලය පානය කිරීමට අමතරව හැකි තරම් දියර වර්ග පානය කළ යුතු බවද අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බව ද කීවේය.



පාසල් දරුවන්ට අව්රශ්මියෙන් සිදුවිය හැකි හානි වළකා ගැනීම සඳහා පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන බවද  සෑම පුද්ගලයකුම පිපාසය සෑදෙන තුරු නොසිට හැකි තරම් ජලය පානය කළ යුතු බවද ඔහු කීවේය. පාසල් දරුවන් මාර්ගවල ගමන් ගන්නා විට කුඩයක් හෝ හිස් වැසුමක් හෝ භාවිත කළ යුතු බවද ඔහු කීය. තවද වැඩබිම්වල සේවය කරන කම්කරුවන් සෑම පැය භාගයකට වරක්ම සෙවණ සහිත ස්ථානයක විවේක ගත  යුතු බවද විශේෂඥ වෛද්‍ය බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් සංගමයේ වෛද්‍යවරයෙකු මෙසේ උපදෙස් ලබා දුන්නේය.

"මේ අධික උෂ්ණත්ව තත්වය මුළු රටටම බලපානවා. නමුත් සුවිශේෂී වශයෙන් බස්නාහිර පළාත උතුරු පළාත උතුරු මැද පළාත නැගෙනහිර පළාත සහ හම්බන්තොට සහ මොණරාගල කියන දිස්ත්‍රික්කවලට වැඩිපුර බලපානවා.



අවදානම් තත්වයේ සිටින කණ්ඩායම් කුඩා දරුවන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්නා අයවලුන්. විජලනයෙන් මේ පිරිස් වළක්වා ගැනීම, ජලය ඒ අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීම දිනපතා. අවම වශයෙන් වැඩිහිටියෙකුට ලීටර 2.5ක් පමණ පානය කරන්නට ඕනා. පැණි බීම පානය කිරීමට වැළකිලා ඉන්න ඕන. සැහැල්ලු ඇඳුම්, ලා පැහැති ඇදුම් ඇදීම මඟින් තාපයෙන් ශරීරියට වෙන හානිය අවම කර ගන්නට පුළුවන්.

අත්‍යාවශ්‍ය කාරණයකට ඇරෙන්න උදේ 11ත් හවස 3ත් අතර කාලය තුළ අව් රශ්මියට නිරාවරණය වීමෙන් තාපයට ශාරීරයට වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. කුඩ, තොප්පි, සන්ග්ලාසස් යම් පමණකට උපකාරී වෙනවා. පාසල් දරුවන්, මේ එළිමහනේ උත්සව පවත්වන්නට එපා. අව් රශ්මියෙන් තොරව දරුවන්ට සෙල්ලම් කරන්නට අවස්ථාව සලස්වන්නට ඕන.

එළිමහනේ ක්‍රීඩා එකොළහට පෙර සහ තුනට පසු කරන්නට පුළුවන්නම් ඒක වැදගත් වෙනවා. නැත්තම් අතිශයින්ම බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුළුවන්. මේ උෂ්ණත්වය පහළ යනකම් අපි හැමෝටම වගකීමක් තියෙනවා, ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ සේවක සේවිකාවන් මෙවැනි තත්වයකට ආවරණය නොවී, කාලසටහනේ යම් වෙනස් කිරීමක් කරන්න පුළුවන් නම් ඉදිරි දවස් කිහිපය ඇතුළත ඒක ඉතාම හොඳ දෙයක් තමයි මේ තත්වේ වළක්වා ගන්නට."