මාලිගාවත්ත මෙත්සෙවණ විහාරාධිපති හිමිගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කර රුපියල් තුන්ලක්ෂ හැටපන්දහසක් වටිනා ජංගම දුරකතන, රන් මාල ඇතුළු භාණ්ඩ මිලදී ගත් හිමිනමක් මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනවලදී මෙම හිමිනම සොරකම් ඇතුළු අපරාධ පහකට නම් දරා සිටින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවටද අනාවරණය වී තිබේ.

මාලිගාවත්ත මෙත්සෙවණ විහාරයේ විහාරාධිපති හිමි පසුගිය මාර්තු මස 03 වැනිදා මාලිගාවත්ත පොලිසියට පැමිණියේ තම ක්‍රෙඩිට් කාඩ්පත නැති වී ඉන් රුපියල් තුන්ලක්ෂ හැටපන්දහසක මුදල්වලින් භාණ්ඩ මිලදී ගෙන ඇති බව පැමිණිලි කිරිමටය.

මේ පැමිණිල්ල පිළිබඳ විමර්ශන මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.



මේ අනුව ක්‍රෙඩිට් කාඩ්පත හිමි බැංකුවේ වාර්තා ලබාගෙන අදාළ ගනුදෙනු සිදුවූ ස්ථානවලට ගොස් ආරක්ෂිත කැමරා දර්ශන ලබාගෙන ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙම කාඩ්පත සොරාගෙන ඇත්තේ හිමිනමක් බවට හඳුනාගෙන ඇත.

සැකකාර හිමිනම මෙම කාඩ්පතින් ගාල්ල නගරයෙන් පවුම් භාගයක රන් මාල දෙකක්, රුපියල් හැටපන්දහසක් සහ තිස් පන්දහසක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතන දෙකක් ඇතුළු තුන්ලක්ෂ හැටපන්දහසක භාණ්ඩ මිලදී ගෙන ඇතැයි අනාවරණය වී තිබිණි.

කෙසේ වෙතත් මෙම හිමිනම කවුරුන්දැයි හඳුනාගෙන තිබුණේ උන්වහන්සේ විසින් මිලදී ගෙන තිබුණු ජංගම දුරකතන දෙකෙහි එමි අංක ඔස්සේ කරන ලද විමර්ශනවලිනි. මිලදී ගත් එක් දුරකතනයකට ලබාගත් නව සිම්පතක් ඔස්සේ එය මිලදී ගෙන ඇති හිමිනම පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

මේ අනුව මාලිගාවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඉන්දික, පොලිස් සැරයන්වරුන් වන 8310 හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන 20724 දිල්ශාන්, 40497 සදරුවන් යන නිලධාරීන් අදාළ සැකකාර හිමිනම පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ අනුරාධපුර ශ්‍රාවස්ත්‍රිපුර ප්‍රදේශයේ කුලී නිවසක සිටියදීය.

සැකකාර හිමිගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී රුපියල් හැටපන්දහසකට ලබාගත් ජංගම දුරකතනය කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් තිස් පන්දහසකට අලෙවි කර තිබියදීත්, සන්තකයේ තිබූ දුරකතනයත්, පවුම් භාගයක රන් මාලය මීගමුව ප්‍රදේශයේ ස්ථානයක උකස් කර තිබියදීත් සොයාගෙන ඇත.



ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයකු වූ මොහු 2006 පෙබරවාරි 04 වැනිදා පැවිදි වී ඇති අතර කෙටි කාලයක් එක් විහාරස්ථානයක සිට පසුව විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල හා නිවාසවල වාසය කර ඇත.

සැකකාර හිමි ගිහි කාලයේ 1987 වසරේ දී දඹුල්ල ප්‍රදේශයේ දිවා කාලයේ ගෙවල් බිඳීමකට තැත් කිරීම, 2002 වසරේදී අනුරාධපුර ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් නව දහසක මුදල් සොරකමක් සිදුකිරීම සහ පැවිදිවීමෙන් පසු 2016 වසරේදී වලපනේ ප්‍රදේශයේ ස්ථානයකින් රුපියල් ලක්ෂ හතරක් සොරකම් කිරීම, තවත් විහාරස්ථානයක පිරිසකට පහරදීම යන චෝදනා සම්බන්ධයෙන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වේ.

එෆ්.අස්ලම්