jaffna-5-murder

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ 5 දෙනෙකු ඝාතනය කර නිවසක් කොල්ලකන්නට උත්සහ කර අත්අඩංගුවට පත් 51 හැවිරිදි රඟු නමැති සැකකරු පොලිසිය ඉදිරියේ එම සමූහ ඝාතන සිදු කළ අයුරු තවදුරටත් විස්තර කර තිබේ.
රුපියල් 2000 ක මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙහිමි කාන්තාව එය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත්, නිවෙසේ මේසය මත තිබූ මුදල් තොගය සොරා ගැනීමට යාමේ දී නිවැසියකු එය දැක මෙන්න හොරා හොරා යැයි කෑගැසූ නිසා කොප්පරා කපන පිහියෙන් පහර දී සියලු දෙනා ඝාතනය කළ බවත් ඩෙල්ෆ් දුපතේ 12 කොටසේ‍ නිවෙසක් තුළ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි  මාර්ග පවසයි.

මෙම ඝාතන සිදුකර සැකකරු ඩෙල්ෆ් දුපතේ සිට වඩතාරකී බෝට්ටුවෙන් ඔහුගේ ගම වන පුංකුඩුතීව් වෙත පැමිණ සැඟව සිටියදී ඉකුත් 21 වැනිදා රාත්‍රියේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය. සැකකරු මෙම ඝාතන සඳහා භාවිත කළ පිහිය නිවෙස ඉදිරිපිට ඇති ළිඳට දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත..බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි 51 හැවිරිදි රඟු නමැති මෙම සැකකරු වසර 25 ක පමණ කාලයක් එහි රැඳී සිට කිසියම් වරදක් හේතුවෙන් 2016 වසරේ දී එරටින් මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ස්ථිර රැකියාවක් නොමැතිව තැන තැන රැඳී සිටියදී ඩෙල්ෆ් දූපත වෙත පැමිණ ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක බවත් ඇය හා දරු තිදෙනා තවමත් එරට රැඳී සිටින බවත් පොලිසිය පවසයි.

ඝාතනය සිදු වූ නිවෙසේ හිමිකාරිය වන කාර්තිකේසු නාගසුන්දරී (74) තනිවම නිවෙස් ජීවත් වන බවත්, ඇය ප්‍රදේශයේ අසරණයන්ට පිහිට වෙමින් ජීවත් වන කාන්තාවක බවද පොලිසිය කියයි. කිසිදු රැකියාවක් නොමැතිව ආහාර පාන පවා නොමැතිව සිටින මෙම සැකකරු දින තුනක කාලයක සිට එම නිවෙසේ නවතාගෙන ආහාර පාන පවා නොමිලේ ලබා දීමට මෙම කාන්තාව කටයුතු කර ඇති බව පොලිසිය කියයි.

ඔහු එම නිවෙසේ සිටියදී ගෙහිමි කාන්තාවගේ ඥාතීන් පිරිසද එම නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.  පැමිණි පිරිස අතර ප්‍රංශයේ සිට පැමිණි අයද සිට ඇති අතර, සිද්ධිය වූ දින පෙරවරුවේ සැකකරු නිවෙසට පැමිණ ගෙහිමි කාන්තාවගෙන් රුපියල් 2000ක මුදලක් ඉල්ලා එය ලබා නොදීම නිසා සැකකරු ගෙහිමි කාන්තාව සමග අමනාපයෙන් සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු රාත්‍රියේ නිවෙසේ සිටියදී නිවෙසේ මේසය මත මුදල්  තොගයක් තිබෙනු දැක  එම මුදල් සොරා ගැනීමට යාමේ දී ගෙහිමි කාන්තාවගේ නැගණියගේ සැමියා වන මුලතිව් සිට පැමිණ සිටි නාගනාදන් බාලසිංහම් (75) නැමැති එය දැක මෙන්න හොරෙක් හොරෙක්  කියා ගෑගසා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් කලබලයට පත් සැකකරු නිවෙස ඉදිරිපසට දිව විත් මඩුවේ තිබූ කොප්පරා කපන පිහිය ගෙන එම පුද්ගලයා කාමරයට ඇදගෙන ගොස් පිහියෙන් පහර දී ඝාතනය කර ඇති බවත්, ඔහුගේ කෑගැසීමෙන් අවදි වූ ලන්ඩනයේ සිට පැමිණ සිටි ඔහුගේ බිරිඳ වන බාලසිංහම් කන්මදි පිලේලේ (72) කාන්තාව ද ඝාතනය කර ඇති බවද සඳහන් වේ. මෙම සිද්ධිය දුටු නිවෙස් හිමි කාන්තාවත් ඇගේ සහෝදරියත් ඔවුන් දිවගොස් සැඟවීමට උත්සාහ කිරීමේදී සැකකරු ඔවුන් පසුපස හඹාගොස් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරු මෙම ඝාතන සිදුකර අලුයම නිවෙසේ ඉදිරිපස රැඳී සිටියදී යාපනය බලා යාමට පෙර දිනපතා මෙම නිවෙසට පැමිණෙන සුබ්‍රමනියම් මහාදේවන් නැමැත්තා යතුරුපැදියෙන් අලුයම 5.30 ට පමණ මෙම නිවෙසට පැමිණ ඇති අතර, සැකකරු නිවෙසේ මළ සිරුරු තැන තැන ඇති නිසා ඔහුට නිවෙසට තුළට ඇතුළු වීමට වළක්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



ඔහු සෑම දිනකම මෙම නිවෙසින් නාගෙන යාපනය බලා බෝට්ටුවෙන් පිටත් වන බවත්, සිද්ධිය වූ දින නෑමට නිවෙසට පිටුපසට යාමට උත්සාහ කිරීමේ දී ඔහුට ඒ දෙසට යාමට සැකකරු ඉඩ ලබා දී නැතැයි හෙළි වී තිබේ. කුමක් හෝ භයානක සිද්ධියක් නිවෙස තුළ සිදුව ඇති බවට සැකකරු එම පුද්ගලයා එළියේ සිට කවුළුවකින් නිවෙස තුළ බැලීමට යාමේ දී සැකකරු පිහි පහර එල්ල කර ඔහුද ඝාතනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. තමා හොරෙන් මෙම නිවෙසින් මුදල් සොරා ගැනීමට තැත්කළ බවට මොවුන් හරහා සෙසු පිරිස දැන ගනු ඇතැයි ඉහත අඹුසැමි යුවළ ඝාතනය කළ බවත්, එම අඹුසැමි යුවළ ඝාතනය කරනු සෙසු කාන්තාව දෙදෙනා දුටු නිසා ගෙහිමි කාන්තාවන් සහ සෙසු කාන්තාව ඝාතනය කළ බවට සැකකරු ප්‍රකාශ කර ඇත. නිවෙසේ සිටි පිරිස කපා කොටා ඝාතන කර ඇති බවට මහා දේවන් නැමැත්තා සිද්ධිය දුටු නිසා ඔහු ද ඝාතනය කළ බවට සැකකරු ප්‍රකාශ කර ඇත. නිවෙස තුළ පස් දෙනා කපා කොටා ඝාතනය කිරීමෙන් පසු සැකකරු පිහිය ළිඳට දමා නිවෙසින් පලාගොස් බෝට්ටුවේ නැගී පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම සිරුරු පෙරේදා 23වැනිදා පස්වරුවේ ඥාතීන් වෙත බාර දී ඇත.

ඉන්දිකා රාමනායක