jaffna-delft-incident

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ සිදුකෙරුනු පංච පුද්ගල ඝාතනයක් සම්බන්ධ බිහිසුණු තොරතුරු සෙනසුරාදා (22) වාර්තා විය.


යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු එකතුව පස් දෙනෙකු සෙනසුරාදා අලුයම කපා කොටා ඝාතනය කර තිබුණි. මේ සියලුදෙනා වයෝවෘද්ධ අය විය. නිවසේ සිටි සුනඛයෙකුටද එහිදී කැපුම් තුවාල සිදුකර තිබුණි. නිවසේ සිටි තවත් 101 වයසැති කාන්තාවකටද කැපුම් තුවාල සිදු කර තිබුණ නමුත් ඇය ඝාතන සිද්ධියෙන් මියගියේ නැත.
එම සාහසික අපරාධය සිදුව තිබුණේ යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළය.
මෙම ඝාතන සිදු කළ සැකකරු නිවසේ තිබූ රත්‍රං ආභරණ විශාල තොගයක්, ජංගම දුරකථන දෙකක් හා සාරි පාර්සලයක් සොරාගෙන පළාගොස් තිබුණි.
ඝාතන සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලීසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සෙනසුරාදා දිනයේම විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

මෙම දූපතින් සැකකරු පළායාම වැළැක්වීමට බෝට්ටු සේවාවන් තාවකාලිකව නතර කර තිබූ අතර සැකකරු පළාගිය බවට ලැබුණ ඔත්තු ඔස්සේ විමර්ශන සිදු කර  සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුල සැඟව සිටියදී  සිද්ධිය සිදුවූ දිනයේම රාත්‍රිෙය් අත්අඩංගුවට ගන්නා ලදි.
පොලිසිය පැවසුවේ 51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති ඔහු සතුව තිබී රන් මාල 3ක් , වළලු ජෝඩු 2ක් , තනි වළල්ලක් , මුදු 8 ක් , පෙන්ඩන්ට් 1ක් , කරාඹු 2 ක්, ජංගම දුරකථන 2 ක් සහ සාරි සහිත ගමන්මල්ලක් සොයාගත් බවය.
වසර 20 ක් පමණ ජර්මනියේ සිට 2019 මෙරටට පැමිණ සිටි සැකකරු රැකියාවක් නොමැතිව කයිට්ස් පුංකුඩුතිව් ඇතුළු දූපත් කිහිපයක තැනින් තැන විවිධ අවිධිමත් රැකියා කරමින් නැවතී සිටි අයෙකි. ඔහුට ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබී පසුව ජර්මනියෙන් පිටුවහල් කළ බවටත් තොරතුරු පොලිසියට ලැබී ඇති අතර ඝාතනය සිද්ධවූ නිවසට මීට දින දෙකකට පෙර පැමිණ නවාතැන්ගෙන සිට ඇති බව කියැවේ.


ඔහු එම නිවසට මින් ඉහතත් පැමිණ ඇති අයෙකු වන අතර ඔහු නිවසේ නතරවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ එම නිවස හිමි කාන්තාව හා සැමියා පමණි.
මෙම කාන්තාවගේ සොයුරියන් කිහිප දෙනෙකු ඇතුළු පිරිස ස්විට්සර්ලන්තයේ සිට මෙම නිවසට පැමිණ ඇත්තේ ඝාතන සිද්ධියට පෙර දිනයේදීය.
මේ අයගේ ගමන් මළු තුළ වටිනා දේ ඇති යයි කල්පණා කර ඇති සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසියට ප්‍රකාශ කර තිබේ.ඝාතනය සඳහා යොදාගෙන ඇති පිහිය නිවසේ මුළුතැන්ගෙයින් ඔහු ලබාගෙන ඇති අතර අත්අඩංගුවට පත්වූ පසු ඔහු එය සඟවා සිටියදී සොයාගන්නට පොලිසියට හැකිව ඇත.
මියගිය වයෝවෘද්ධ කාන්තාවන් තිදෙනාම එකම පවුලේ සොයුරියන් වන අතර මියගිය පිරිමි දෙන්නාගෙන් එක් අයෙකු මියගිය කාන්තාවකගේ සැමියාය. අනෙක් පිරිමි පුද්ගලයා ඝාතන අවස්ථාවේ නිවසේ සිටි බාහිර අයෙකි. තුවාල ලැබූ වයස 101 ක් වූ කාන්තාව පෙරකී මියගිය කාන්තාවන් තිදෙනාගේ වැඩිමල් සොයුරියයි. ඇය මේ වනවිට රෝහල් ගතව ඇති අතර තත්වය බැරෑරුම් නොවන බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයන් මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවටද ඔහු කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසීය.