jaffna-embul-kesel

යාපනයේ වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝග්‍රෑම් 25,000ක් බැගින් මෙලෙස මේ මස 28 වැනිදා සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳ" පොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. යාපනයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීන් 600ක් සිටින අතර, තවත් හෙක්ටයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිත බව ඇමැතිවරයා කියා සිටියේය. මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මෙම වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත් ඊට අමතරව සෙවනගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවත්

මහින්ද අමරවීර මහතා කීවේය.දැනට කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් රාජාංගණයේ ස්ථාපිත කර තිබෙන අතර, යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ඇමැතිවරයා කියා සිටියේය.
රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය මඟින් එක් වරකට ඩොලර් 20,000ක මුදලක් රටට අපනයන ආදායම් වශයෙන් ලැබෙන අතර, යාපනයේ කෙසෙල් අපනයනය මඟින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිත බව ඒ මහතා පැවැසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය යටතේ අප රටේ ඇඹුල් කෙසෙල් අපනයන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට 18 වතාවක් රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කරනු ලැබුවා. දැනට අප රටේ ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳපොළෙහි විශාල ඉල්ලුමක් පැවතියත් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතිනවා.

නමුත් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් ලබා දෙන තාක්ෂණික පුහුණුව නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඹුල් කෙසෙල් වගා කිරීම සිදු කරනවා.යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවට රසායනික පොහොර කිසිවක් යොදන්නේ නැහැ. එම ගොවීන් ඒ සඳහා භාවිත කරනුයේ කාබනික පොහොර පමණක් නිසා යාපනයේ ඇඹුල් කෙසෙල්වලට ඉදිරි කාලය තුළ අනෙකුත් රටවලින් ද ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට කටයුතු කරනවා.

නුවන් කොඩිකාර