ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට බලහත්කාරයෙන් ගොඩ වූ මිතුරා රියදුරුගේ ගෙල මිරිකද්දී ඒ පසුපස හඹා ගිය යතුරුපැදිකරුවකු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ අංක 36/26 , බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නමැති 29 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය යතුරු පැදිකරු මිතුරකු ද නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහත දී පොලියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රිරෝද රියැදුරු දැකීමත් සමග යතුරු පැදියෙන් ත්‍රීරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ සමගම ත්‍රීරෝද රථ රියැදුරු එය මගහැර පලා යෑමට උත්සාහ කිරීමේ දී පැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැග ත්‍රීරෝද රථ රියැදුරුට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ රියැදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිසිය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙල සිර කිරීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය පාර පුරා යාමේ දී ඊට සමාන්තරව ත්‍රීරෝද රථය රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශන වල දී හෙළි වූ බව පොලීසිය පවසයි.
කාර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ත්‍රීරෝද රථය ධාවනය වන අයුරුත් එහි පසුපස මිය ගිය යතුරු පැදිකරු කෑ ගසමින් යතුරුපැදිය පදවන අයුරුත් සීසීටීවී කැමරාවක සටහන්ව තිබිය දී පොලිසිය සොයාගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අයිස් හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසුපැදිකරු මත්පැන් පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයත්, කාර් රථයත් පොලිස් භාරයට ගෙන ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments