kalubovila-hpspital-decition

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළසිරුරු ඊයේ (06) දා සිට තාවකාලිකව භාර නොගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පෙරේදා (05)දා ලිඛිතව දැනුම්දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි ද පැවසේ.  මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36 ක ධාරිතාව ඉක්මවා තිබීමයි. බාහිරෙන් රැගෙන ආ නාඳුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ  කටයුතු සිදු නොකොට අතහැර දමා තිබීම මෙම තත්ත්වයට දැඩි සේ ඉවහල් වී ඇතැයිද වාර්තා වේ.



රෝහලට රැගෙන එන නාඳුනන මළ සිරුරුවල පසුවිපරම් කටයුතු පොලීසිය හරහා සිදු කොට භාරකරුවන් සොයා කඩිනමින් පශ්චාත් මරණ  පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වුවත් ඊට පොලීසිය දක්වන උදාසීනත්වය මීට හේතු වී තිබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ  ශීතකරණ 36කින් ශීතකරණ දෙකක් අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කළ යුතු අතර ඉතිරි ශීතකරණ 34න් විසි අටක්ම මාස 14 තිස්සේ මෙම මළ සිරුරු 28 තිබීම හේතුවෙන් දෛනික සේවා සැපයීමට ඉතිරිව ඇත්තේ ශීතකරණ 06 කි. එය දෛනික සේවා සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හඳුනාගත් මළ සිරුරු දිනපතා 8ක් හෝ 10ක් රෝහලට රැගෙන එන අතර එම මළ සිරුරුවල භාරකරුවකු දුර බැහැරක සිට පැමිණීමට දිනක් හෝ දෙකක් ගත වුවහොත් ඒවා තැම්පත් කිරීමට හෝ මේ තත්වය මත පහසුකම් නොතිබීමෙන් ඇතැම් මළ සිරුරු ට්‍රොලි මත තැබීමට සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙසේ පරීක්ෂණ අවසන් නොකළ මළ සිරුරු අතර පිළියන්දලින් මළ සිරුරු 07ක්, ගල්කිස්ස 03ක්, මහරගමින් 03ක්, කිරුළපනින් 02ක් , මිරිහානින් 02ක්,  වැල්ලවත්තෙන් 02ක්, කැස්බෑව, මොරටුව, බොරැල්ල, වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වලින් එක් මළසිරුර බැගින්ද භාර දී තිබේ. සෙසු මළසිරුරු පහ රෝහල්ගතව සිටියදී මියගිය මළ සිරුරු බවද පැවසේ. ඉන් පිරිමි මළ සිරුරු විසිදෙකක්, කාන්තා මළ සිරුරු හයක් ද වන අතර ඔවුන් වයස අවුරුදු 35 - 87 අතර වයසේ පසුවන්නන්ය.



2022.02.23දා  මිරිහාන පොලිස් ස්ථානය හරහා ඇතුළත් කළ මළ සිරුරක් ද ගල්කිස්ස ප්‍රදේශයේ දී මුහුදේ ගිලීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන ලෙසට උසාවි නියෝගයක් ලබා දුන් මළසිරුරක් ද මේ අතර වෙයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර අවස්ථාවලදී පමණක් පහළ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදු කළ ද පසුව ඊට නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීමෙන් නාඳුනන මළ සිරුර ගොඩගැසී ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  මේ ගැටලුව මගහරවා ගැනීම සඳහා බාහිරින් රැගෙන එන නාඳුනන මළ සිරුරු රෝහලට භාර ගැනීම (06) දා සිට  තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න