kandy-alawathugoda-incident

ව්‍යාජ පන්දහසේ නෝට්ටු අච්චු ගැසූ මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඡායාරූප ශාලා හිමියකු සහ ඔහුගේ ව්‍යාජ නෝට්ටු මාරු කළ තැරව්කරුවකු රුපියල් දෙලක්ෂ දස දහසක් වටිනා ව්‍යාජ පන්දහසේ නෝට්ටු 42 ක් සමගින් පෙරේදා (19 වැනිදා ) අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් අලවතුගොඩ නගරයේ රැදී සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් සොයාගෙන තිබිණි. සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදි මෙම නෝට්ටු අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලා හිමියකු විසින් ලබාදුන් බවත් තමන් ඔහුගේ තැරැව්කරු බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත.



මොහු ලබාගන්නා රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු වෙළෙඳසල්වලට රැගෙන ගොස් ඒවායෙන් රුපියල් පන්සියයක හයසියයක භාණ්ඩ මිලදීගෙන මාරුකර තිබෙන බව හෙළිකරගෙන ඇත. වැඩිදුර විමර්ශනවලදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 40 ක් සැකකරුගේ නිවසේ වැසිකිළි වළෙහි සඟවා තිබියදී සොයාගෙන ඇත. සැකකරු පවසා ඇත්තේ පොලිසියට හසුවේ යැයි බියෙන් මෙම නෝට්ටු සඟවා තබා ගත් බවය.

ඒ අනුව ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ බව කියන ඡායාරූප ශාලාව ද අලවතුගොඩ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළ අතර එහි දී ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකය ඇතුළු උපාංග ද සොයාගෙන තිබිණි. එමෙන්ම ඡායාරූප ශාලා හිමියා සන්තකයේ තිබූ ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් ද පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා ඊයේ (20 වැනිදා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.