kegalle-hand-cut-incident

ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් පසුව එල්ල වූ මන්න පහරක් නිසා වම් අත සම්පූර්ණයෙන්ම වෙන්වූ තරුණියකට පැය හතරකදී එම අත යළි බද්ධ කිරීමට කෑගල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත.
කෑගල්ල, දීවල, එරබුදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර ඉඩමක් සම්බන්ධයෙන් පෙරේදා (04 වැනිදා) රාත්‍රි ඇතිවූ ගැටුමක් දුර දිග යාම නිසා එක් පුද්ගලයකු මන්නයකින් කෙටීම නිසා 21 හැවිරිදි තරුණියකගේ වම් අතේ පහළ කොටස සම්පූර්ණයෙන්ම ශරීරයෙන් වෙන්වී ගියේය.



වහාම ක්‍රියාත්මක් වූ පවුලේ අය වෙන්වූ අත අයිස් කැට සහිත බෑගයක දමා තරුණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කෙරිණි. කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලද තරුණියට එදින රාත්‍රි 9.00 ට පමණ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු කණ්ඩායම විසින් සැත්කමක් කරන ලදී.

තරුණියගේ වෙන්වූ අත සියුම් අයුරින් පැය හතරකදී බද්ධ කෙරිණි. අනතුරුව රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් ඊයේ (05 වැනිදා) උදේ වනවිට රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටි බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන පැවසීය.



මෙම සැත්කම සාර්ථකව ඉටුකිරීම සඳහා ලේ බැංකුව, හදිසි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාරයේ කටයුතු කළ සහායක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා සහාය වූ බවත්, ඔවුන්ට තම ස්තුතිය පුදකරන බවත් වෛද්‍ය ආනන්ද ජයවර්ධන කීවේය.

සාලිය ගමසිංහආරච්චි - කෑගල්ල