kiriwaththuduwa-story

ජලභීතිකා වැලඳුණු රෝගය සුනඛයෙකුගේ බරපතළ සපාකෑමට ලක් වූ කිරිවත්තුඩුව තලගල වත්ත ප්‍රදේශයේ තිදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයකුගේ මුහුණ ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය. එම ප්‍රදේශයේ සිදු කළ හදිසි සුනඛ සංගණනයක දී සුනඛයින් 76, බළලුන් 39 දෙනෙකු ඇතුළු එකසිය පහළොස් දෙනකු හමු වූ බව වෛද්‍ය ධනුක පත්මරාජ මහතා වැඩිදුරටත් කීය.  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කිරිවත්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ තලගල වත්ත ප්‍රදේශයේ  පදිංචි 63 හැවිරිදි තැනැත්තකුගේ අතක්,

38 හැවිරිදි දෙදෙනෙකුගේ මුහුණ  සහ පාදයක් මෙසේ අයාලේ යමින් සිටි සුනඛයෙකු සපා කා තිබූ බව කිරිවත්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.පී. රශ්මික මහතා පැවසීය.

එසේ මුහුණ සපා කෑ පුද්ගලයාගේ නිවසේ ගවගාලක් පවත්වාගෙන යන අතර එහි සිටි ගවයකු ද සපාකෑමට යාමත් සමග ප්‍රදේශවාසියකු විසින් එම සුනඛයා ඝාතනය කොට හිස බොරැල්ල වෛද්‍ය පරේක්ෂණ ආයතනයට යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව නිකුත් වූ වෛද්‍ය වාර්තාවට අනුව අදාළ සුනඛයාට ජලභීතිකා රෝගය වැලඳී තිබූ බවට තහවුරු වී තිබුණි. මේ අතර සුනඛයාගේ සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ තිදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ 38 හැවිරිදි තැනැත්තාගේ මුහුණ ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බවත් පසුව සිදුකළ පරීක්ෂණයේ දී අදාළ රෝගීන්ට ජලභීතිකා රෝගය වැලඳී නොතිබූ බවට වාර්තා වී තිබූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.පී. රශ්මික මහතා පැවසීය.

කිරිවත්තුඩුව, තලගල වත්ත, කිතුල විල, මූනමලේ වත්ත සහ යකහළුව යන ප්‍රදේශවල හදිසි සුනඛ සංගණනයක් සිදු කළ අතර එහිදී සුනඛයන් හා බළලුන් දෙසිය 289 දෙනෙකු හමු වූ අතර ඉන් 115 දෙනෙකුම සිද්ධිය වූ තලගලවත්ත ප්‍රදේශයේ බව වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජල භීතිකා මර්දන ඒකකයේ නිලධාරීන් හා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් ස්ථාන 12කදී සුනඛයන් හා බළලුන් 289 දෙනාටම ජලභීතිකා එන්නත ලබාදීමට පියවර ගත් බව පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක  සමරසේකර මහතා කීය.

මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා වැඩිදුරටත් කියා  සිටියේ කිසියම් නිවසක සුනඛයකු හෝ බළලෙකු සුරතලයට ඇති කරන්නේ නම් එම සතුන් විධිමත් ලෙස එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.  සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ බහුතරයක් සත්වයින් හදන්නේ සුරතලයට නොව නිවසේ ආරක්ෂාවට බවයි. ඒ අනුව ආහාර ටිකක් දී නිවස ඉදිරිපිට හෝ ගේට්ටුව අසල සත්වයා තබා නිවසේ හෝ තමාගේ ආරක්ෂාව පතනවා විනා එම සත්ත්වයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් නොවීම බරපතළ සමාජ හා සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවක් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දුන්නේය. යම් ස්ථානයක අයාලේ යන සත්වයකු මෙසේ සපා කෑමකට ලක් වුවහොත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයකු හෝ පොලීසිය දැනුම්වත් කරන ලෙසට ද කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පත්මරාජ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශාන්ත ප්‍රදීප් කුමාර  කුලරත්න