kothmale-oya-request

කොත්මලේ ඔයේ වෙසෙන මසුන් පෙරේදා (16දා) සිට හදිසියේ මියයන බවත්, එසේ මිය ගොස් ඇති මත්ස්‍යයන් ආහාර සඳහා නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. අඹේවෙල සිට මෙරායා,

ඇල්ජින්  අගරකන්ද දක්වා කිලෝමීටර් 12ක් පමණ දුරට ගඟේ වෙසෙන මසුන් අභිරහස් ලෙස මිය  යන බවත්, එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් රැගෙන යන බවත්, එසේ රැගෙන යන මසුන් ආහාරයට නොගන්න ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇති බවද හෙතෙම පවසා සිටියේය.  අඹේවෙල සිට තලවකැලේ ඉහල කොත්මලේ ජලාශය දක්වා කිලෝමීටර් 40ක් පමණ දුරට ජලය ගලා බසින බවත්, කොත්මලා ඔයේ ජලය කළු පැහැයෙන් ගලා බසින නිසා තවදුරටත් ඉහළ කොත්මලේ ජලාශය දක්වා මසුන් මියයාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව ඔය දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටින ලෙසත්, පවත්නා තත්ත්වය මත කොත්මලාඔයේ ජලය භාවිතයට නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.